Posted on 10.26.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අද (26) උදයේ අනුරාධපුර – පුත්තලම මාර්ගයේ බුලන්කුලම ප්‍රදේශයේදී ගවයන් පටවාගත් ලොරියක් හේතුවෙන් ඇති වූ රිය අනතුර අවස්ථාවේ එම ලොරිය පසුපස හඹාගිය පොලිස් නිලධාරින් දෙදෙනාගේ ක්‍රියාකලාපය සැකයට ලක්ව ඇත.
මස්පිණිස ගවයින් පටවා ගෙන අධික වේගයෙන් ධාවනය කෙරුණු මෙම ලොරි රථය යතුරු පැදියක ගැටීමෙන් නොච්චියාගම – ගාලදිවුල්වැව – රේනෝරාව ප්‍රදේශයේ පදිංචි 32 සහ 29 හැවිරිදි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වූහ. මෙම ගවයන් පටවාගත් ලොරි රථය තරුණියන් පැමිණී යතුරුපැදියේ ගැටීමට පෙර මාර්ගයේ අනෙක් පසින් පැමිණි කැබ් රථයක ද ගැටී තිබිණි. එසේ වේගයෙන් දාවනය කල ලොරිය පසුපස පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කැබ් රථයකින් ලූහු බැද ඇති අතර අනතුරෙන් ලොරි රථය පෙරලූනු අවස්ථාවේ එය ලූහුබැඳ පැමිණි පොලිස් කැබ් රථය අනතුර සිදුවූ වහාම ආපසු හරවාගෙන අනුරාධපුරය දෙසට ධාවනය කර ඇත. ඔවුන් විසින් අනතුරින් තුවාල ලබා සිටි තරුණියන් රෝහල් ගත කිරිමෙන් තොරව එතැනින් පළායාම පිලිබද සැකයක් මතුව තිබේ.
අනුරාධපුර පොලීසියේ සැරයන්වරුන් දෙදෙනෙකු වන මෙම පොලිස් නිලධාරින් විසින් ලොරියේ බලපත්‍ර පරීක්ෂා කිරීම සදහා නවත්වන ලෙසට සංඥා කළ ද එය නොනවත්වා ධාවනය කර ඇති නිසා එය පසුපස ලුහුබැද ගිය බව පොලිසිය පවසයි. එම ලොරි රථයට ගවයන් ප්‍රවාහනය කිරීම සදහා බලපත්‍රයක් හිමිව තිබූ බව ද පසුව අනාවරණ විය. කෙසේ වෙතත්, අනතුර වූ අවස්ථාවේ පොලිස් නිලධාරින් දෙදෙනා ඉවත්ව යාම සම්බන්ධයෙන් සැක මතුව තිබෙන නිසා ඔවුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධ විමර්ශනයක් සිදුකර ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට හැකියාව ඇති බව පොලිස් ආරංචි මාර්ග හෙලිකරයි.