Modern Times – අද ගැන 1929 චැප්ලින් කී කතාවක්

චාලි චැප්ලින් නමැති විශිෂ්ඨ සිනමාකරුවා විසින් 1936 නිර්මිත මොඞ්ර්න් ටයිම්ස් චිත‍්‍රපටය අප ජීවත්වන ලෝකයේ වැඩ කරන ජනතාව පොදුවේ මුහුන දී සිටින ජීවන තත්වයන් පවා පිළිබිඹු කරන චිත‍්‍රපටයකි.
1929 ආරම්භ වූ ලෝක ආර්ථික අර්බුදය සමයේ එංගලන්ත කම්කරුවකුගේ ජීවිතයේ අත්දැකීම් හාස්‍ය උපදවන රීතියක් ඔස්සේ චැප්ලින් විසින් මෙම චිත‍්‍රපටය ගොඩනගා ඇත. ‘ට‍්‍රෑම්ප්‘ හෙවත් කතානායකයාගේ චරිතය නිරූපණය කරන්නේ චාලි චැප්ලින් විසින්මය. වැඩ කරන කම්හලේ වැඩි ලාභ ඉපදවීමේ අරමුණින් සිදුකරන අමානුෂික ක‍්‍රියාදාමය තුළ කම්කරුවකු විඳින පීඩාව හාස්‍ය රසය ඔස්සේ අපට නිරූපණය කරවන්නට ට‍්‍රෑම්ප් චරිතය තුළින් සිනමාකරුවා සමත් වේ. කම්හල් හිමියා සිය සේවකයන් යන්ත‍්‍රවල කොටස් මෙන් සලකා වැඩ ගන්නට දරන උත්සාහයත් එම වැඩ පීඩනය තුළ මානසික ව්‍යාකූලතාවකට පත්වන ආකාරයත් එහිදී ඔහු විසින් ජිවිතයට මුහුන දෙන්නට දරණ උත්සාහයත් මෙහි නිරූපිතය.
මෙම ජිවන අර්බදුයට මුහුණ දෙමින් සිටියදී ට‍්‍රෑම්ප්ගේ අස්වැසිල්ලට හේතුවන්නේ පාන් ගෙඩියක් සොරකම් කරන තරුණියකගේ හමුවීමයි. ඇය(පෝලට් ගොඩාඞ්) පොලිසියෙන් බේරා ගැනීමට සහ කම්හලක පීඩා විදිනවාට වඩා සිරගතවීමටත් ප‍්‍රියකරන ට‍්‍රෑම්ප් පාන් සොරකම් කළේ තමන් බව පවසා ඇය මුදා හැර පොලිසියට බාර වේ. නමුත් අවසානයේ ඔවුන් පොලිසිය හා සමාජ පීඩාව නිසා පොදුවේ විඳින අත්දැකීම් බෙදා ගනිමින් දුෂ්කර ජීවිතයට මුහුණ දන්නට දරණ උත්සාහය පැයකුත් මිනිත්තු 48ක් දිවෙන ‘මොඞ්ර්න් ටයිම්ස්’ සිනමා කෘතිය ඔස්සේ දිග හැරේ.