தமிழ்
English
Contact
Thursday 23rd November 2017    
ඈවරයි දෑවරයි – රඟහල් වෙන්දේසි කරනු ලැබේ ! « Lanka Views | Views of the truth

ඈවරයි දෑවරයි – රඟහල් වෙන්දේසි කරනු ලැබේ !



“දියව් දියව් – අපට දියව්
අපෙ රඟහල් – අපට දියව්“

කලබල නොවන්න තවමත් කලාකරුවන් හෝ කලාරසික ජනසමූහයා එවැනි සටන් පාඨ මුරගාමින් වීදි බැස නැත. නමුත් සිදුවෙමින් තිබෙන්නේ එවැනි වීදි සටනකින් හෝ විසදාගන්නට සිදුවන තත්වයකට මුහුණ දෙන්නටය. ධනපති ක්‍රමය යටතේ කලාව ධනපතියන්ගේ සුඛෝපභෝගී පරිභෝජන භාණ්ඩයක්ව ඇති බව සැබෑවකි. නමුත් ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් ජනයාගේ බදු මුදලින් ලබා දුන් කලාගාර හා රඟහල් පවා දැන් කොල්ලකෑමට ලක් වන සෙයකි. මේ ඒ ගැන අප තබන සටහනයි.


90 දශකයේ අග භාගයේදී වැඩක් විදිහටම අපි විවිධ තැන්වල එකතු වුනේ නාට්‍ය බලන්න, කවි රස විදින්න, චිත්‍රපට විචාර වගේ ඒවට. ඒවගේ දේවල් තියෙන්නේ කොහෙද ඒවා හොයාගෙන යන්න අපි පෙළඹුණා. ඒ හැම එකකටම අවස්ථාව ලැබුණු හැම වේලාවකම සම්බන්ධ වුණා. රාජ්‍ය නාට්‍ය උළෙල ඒවට හොඳ උදාහරණයක්. හවස 5-6 වෙද්දී ජෝන් ද සිල්වා රඟහල පිරිලා ඉතිරිලා යන තරමට සෙනඟ හිටියා. විශ්ව විද්‍යල සිසුන් දේශපාලන ක්‍රියාධරයන් විවිධ වෘත්තිකයන් වගේම නාට්‍යවලට ආදරය කරන පිරිසකුත් හැම තිස්සේම මේ අවස්ථාව නියෝජනය කළා. අතේ තියෙන මුදලට ගැලපෙන විදිහට ජීවිතයට යමක් එකතු කරන නාට්‍යයක් බලන්න අපට අවස්ථාව ලැබුණා. අමාරුවෙන් ජීවත්වන අපට වගේම සෙසු නාට්‍යලෝලීන්ට අතේ තියෙන මුදලට නාට්‍ය බලන්න අවස්ථාවක් හිමි වුණා. කාලයක් එක්කම හැමදේම වෙනස්වන හින්දා මේ වෙන කොට නාට්‍යයක් බලනවා කියන එක හීනයක් වෙලා. ඒකට වියදම් කරන්න තරම් මුදලක් රසිකයන්ට තියෙනවාද කියන ගැටලුව ඒ හැමෝටම තියෙනවා. ඒ වගේම තවත් ටික දවසකින් අමාරුවෙන් හරි මුදලක් වියදම් කරලා නාට්‍යයක් බලන්නේ කොහෙද කියන ප්‍රශ්නයක් අපි හැමෝටම මතුවෙන්න පුළුවන්.
මිනිසුන්ට නාට්‍ය බලන්න ගොඩක් තැන් අතීතයේ ඉඳලා ලංකාවේ තිබුණේ නෑ. ඒවා තිබුණේ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩුවෙන්. නාට්ය ශාලා විදියට එහෙම තැන් හම්බ වෙන්නේ 1900 මුල් කාලයේ ඇරඹුණු එලිෆින්ස්ටන් එහෙමත් නැත්නම් ටවර් රඟහලේ ඊට පස්සේ ජෝන්ද සිල්වා, ලයනල් වෙන්ඞ්ට්, ලුම්බිණිය වගේ රංග ශාලා. මේ හැම නාට්‍ය ශාලාවකටම ඒ ඒ කාලයට අදාළ කලාකරුවන්ගේ නියෝජනය සහිත යුග සම්බන්ධයි. ඒවගේම නාට්‍යකරුවන් බිහිවෙන්නත් මේ රඟහල් අවට පරිසරය උපකාරී වුණා. බොහෝ වෙලාවට කට්ටිය එකතුවෙලා මීවිත තොළ ගාමින් කරපු සාකච්ඡා සංවාදවල ප්‍රතිඵල විදිහට ඉතා හොඳ නාට්‍ය බිහි වුණා. සුදර්ශිය කියන්නේ එහෙම තැනක්.
සියල්ල විකිණෙන නව ලිබරල් ධනවාදය ඇතුලේ නොවිකිණී තියෙන කිසිවක් ඉතුරුවෙන්න බෑ. අදවනවිට කොළඹ තිබෙන නාට්යව ශාලා ඒ ඉරණමට ගොදුරුවෙමින් තියෙනවා. එහෙම තැන්නම් සාමාන්‍ය ප්‍රේක්ෂකයා එකී රඟහල්වලින් පිටමං කිරීමට අදාළ පිඹුරුපත් සැකසෙමින් තිබෙනවා. දැනට අවුරුදු දෙක තුනකට කලින් ඉඳලා බොහෝ දෙනෙකුට නාට්‍යයක් බලන්න අවස්ථාව තිබුණු එල්ෆින්ස්ටන් රඟහල අලුත්වැඩියා කටයුතු හේතුවෙන් වසා දමලා අලුත්වැඩියාවෙන් පස්සේ නාට්යසයක් පෙන්වීම සඳහා අයකරන මුදල දෙගුණ තෙගුණ කරන්න සියල්ල සූදානම්. අලුත්වැඩියා කටයුතුවලින් පස්සේ මෑතකදී ටවර් රගහල කියන්නෙත් සාමාන්යන නාට්ය කරුවකුට නාට්යියක් පෙන්වන්න බැරි තරමට අධික ගෙවීම් කරන්න සිදුවුණ රඟහලක්. මේ තත්වය තුළ නාට්‍යලෝලීන්ට ඒ නාට්‍ය බැලීමේ ඉඩකඩත් ඉතා වේගයෙන් අඩු වෙමින් තියෙනවා. ඒකට හේතුව වෙන්නේ රඟහල්වලට ගෙවන්න වන මුදලට සාපේක්ෂව නාට්‍යම පෙන්වන්න අලෙවි කරන ටිකට්වල මිල ඝීග්‍රයෙන් ඉහළ යාමයි.
1960 දශකයේ ඉඳලාම නාට්‍ය ශාලාවල නාට්‍ය බලන්න යද්දි ඒ තුළ තිබුණු පන්ති පරතරය කැපී පෙණුනා. ලයනල් වෙන්ඞ්ට් වගේ රඟහල්වල නාට්‍ය බලන්න කම්කරුවකුට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුට වගේම නාට්‍යලෝලී පීඩිත පන්තියේ ජනතාවට පුළුවන් වුණේ නැහැ. ඒක හැම තිස්සේම විවෘත වුණේ ඉහළ පන්තියේ අයට. ඒත් ජෝන් ද සිල්වා රඟහල කියන්නේ ඕනෑම කෙනෙකුට ගිහිල්ලා නාට්යවයක් බලන්න පුළුවන් වුණු තැනක්. ජෝන්ද සිල්වා එක හැමදාමත් විවෘත වුණේ පීඩිත පන්තියේ මිනිස්සුන්ට. ඒ නිසා මේවා අතර හැම තිස්සෙම පන්ති නියෝජනයත් තිබුණා. කොහොම වුනත් මේ වන විට ජෝන්ද සිල්වා එකේ නාට්යේයක් බැලීම සාමාන්‍ය ප්‍රේක්ෂකයාට හීනයක් වී තියෙනවා. එකට හේතුව එහි අලුත්වැඩියා කටයුතුවලින් පසුව නාට්‍යයක් පෙන්වීම වෙනුවෙන් ලක්ෂ තුනකට අධික මුදලක් නාට්‍යකරුවන්ට ගෙවන්නට සිදුවීම. මේ හැම එකකින්ම වෙන්නේ නාට්‍ය බලන සාමාන්‍ය පේර ත ක්ෂකයා නාට්යව ලෝකයේ සිට පිටමං කිරීම. කලා ප්‍රබෝධයක් ඇති කරන්න අවශ්‍ය බව පවසමින් ජනතාව කලාවෙන් ඈත්වී ඇති බව කියමින් ඒ සඳහා අවධානය ගෙන එ්මට පම්පෝරි ගසා ගොඩ නැගු නෙළුම්පොකුණ රඟහල එදිනෙදා අමාරුවෙන් ජීවත් වන මිනිසුන්ට පාරේ යන එන ගමන් බලාගෙන යා හැකි තැනක් මිස එයට ගොඩවී නාට්‍යයක් හෝ වෙනයම් ප්‍රසංගයක් බැලිය හැකි තැනත් නොවන්නේ එහි නාට්‍යයක් පෙන්වීමට ලක්ෂ හතරක් පමණ මුදලක් අය කරන නිසයි. ඒ තුළ නියෝජනය වන්නේ එක් පන්තියක් පමණි.
මේ වන විට ලයනල් වෙන්ඞ්ට්, එල්ෆින්ස්ටන්, නෙළුම්පොකුණ, ජෝන්ද සිල්වා, ටවර්, යනු සාමාන්‍ය ප්‍රේක්ෂකයා නාට්‍ය ලෝකයෙන් පිටමං කර දමන නාට්යක ශාලාව වී හමාරය. මේ සියලූ රංග ශාලාවල නාට්‍යයක් බැලීම සඳහා රුපියල් දහසේ කොලවලින් ගෙවීමට සාමාන්‍ය ප්‍රේක්ෂකයාට ගෙවීම් කරන්න සිදුවේ. එදිනෙදා ජීවන බර වෙනුවෙන් සටන් කරන පීඩිත පන්තියේ මිනිසුන්ට නාට්යපයක් බැලීම සඳහා දහසේ කොළ වෙන් කරන්නට හැකියාවක් නොමැත්තෙන් ඔවුන් එකී ලෝකයෙන් පිටමංවීම වැළැක්විය නොහැකිය. ලුම්බිණිය පමණක් තවමත් එවැනිවුන්ට ඉතිරිවේ. එසේ වන්නේ එය පාසලක නාට්‍ය ශාලාවක් බැවින් හා ආණ්ඩුවේ වැඩපිළිවෙළ පාසල් තුළට රිංගා නැති බැවිණි. එහෙත් කොළඹ නගරයෙන් මෙපිට තිබෙන ලුම්බිණිය වැනි රඟහලක නාට්‍ය නැරඹීම සඳහා බහුතරයක් ප්‍රේක්ෂකයන්ට ඉඩ සැලසෙන්නේ නැත. කොළඹ නගරයේ තිබෙන පාසල්වල ඇති රඟහල්වල නාට්යඹ නැරඹීමට ඉඩක් නොමැති වන්නේ ඒවාද අධික මුදලක් අයකරන රඟහල්වීම නිසාය. ඒ අනුව ‘නාට්‍යයක් බලමුද?’ යන මාතෘකාව සාමාන්‍ය ප්‍රේක්ෂකයාගේ ශබ්දකෝෂයෙන් පිටමං වී ඇති සාකච්ඡාවක් වීම වැඩි ඈතක නොවෙනු ඇත.
තවදුරටත් ලුම්බිණියද මේ තත්වය යටතේ අහිමි වුවහොත් තරුණ නාට්‍යකරුවන්ටද ක්ෂේත්‍රයෙන් පිටමංවීම හැර අන් විකල්පයක් ඉතිරි නොවනු ඇත. නාට්‍ය කලාව ධනපතියන්ගේ බූදලයක් බවට පත්කරන පිඹුරුපත් සෙමින් සෙමින් සැකසෙමින් තිබේ. එය ඔවුන්ගේ රස වින්දනයට පමණක් අයිති දෙයක් බවට පත්වීම වැළැක්විය නොහැක. පන්ති සමාජය වෙනස් කිරීමට අදාළ කරන සමාජ කතිකාවක් ජනමනස තුළ ගොඩ නැගන නාට්යන කලාවට ‘ගේමක් දීම’ මේ අනුව ආණ්ඩුවේ වැඩපිළිවෙළ බව පැහැදිලිය.
ආණ්ඩුවේ මෙගා පොලිස් වැඩපිළිවෙළට අනුව පහළ පන්තියේ සහ මැද පන්තිය කොළඹ නගරයෙන් පිටමං කරන, කොළඹ ධනපතියන්ගේ පාරාදීසයක් පමණක් කරන වැඩපිළිවෙළට මෙයද අයත් බව පැහැදිලිය. රැකියාව සහ සංස්කෘතික ජීවිතයක්ද බුක්ති විඳීම සඳහා කොළඹට එන මිනිසුන්ට ජීවිතය විදීමට තිබු මෙවැනි මාධ්‍යයන්ද අහිමි වන විට ඔවුන්ට තවදුරත් ජීවිතය යනු වැඩම පමණක් වනු ඇත. කලාව සාමාන්යර ජනතාව සඳහා නොව ඒ පරයන්භූ කලාවක් බවට පත්ව ප්‍රභූන් උදෙසා පමණක් ගොඩනැගෙන කලාවක් වීමේ උත්සාහය ජය ලබනු ඇත. ඒ අනුව දුප්පතුන් එයින් පිටමං කෙරෙනු ඇත. කොළඹ 7 ඇති සුදර්ශීය වැනි ආයතන ආණ්ඩුව බලයට පැමිණි පසු ජපන් කොම්පැනියකට විකුණා දැමෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. සාමාන්‍ය නාට්‍යකරුවන් ඒවායෙන් පිටමං කරන්නේ ධනපතියන්ට පමණක් සියල්ල උරුම කරදීමටය. එහෙත් ජනතාවාදී කලාවක් සඳහා ජනතාව මෙයට විරුද්ධව සටන් වැදිය යුතුය. ඒ සඳහා අවශ්‍ය කරන සමාජ කතිකාවක් ඇති කළ යුතුය. සියල්ල ධනපතියන්ට පමණක් ඉතිරිකරන වැඩපිළිවෙළ පරාජය කළ යුතුය. නාට්‍යකරුවන් මහ පාරේ, හන්දියේ, නගර මධ්‍යයේ අතිවිශාල මුදලක් නාට්‍යයක් බැලීමට වෙන් කළ නොහැකි ජනතාව රැස්කරවමින් නාට්‍ය පෙන්වීම ආරම්භ කළ යුතුය. එදිනෙදා ජීවිතයේ දහසක් ප්‍රශ්නවලින් හෙම්බත්වී සිටින මිනිසුන් වෙනුවෙන් අලුත් සමාජ භාවිතාවක් උදෙසා මැදිහත්වීම වෙනුවෙන් නව මානයන් නාට්‍ය හරහා ගෙනා යුතුය. අරගලයක් දක්වා ජනතා පෙළගැස්විය යුතුය. ඒ සඳහා නාට්‍යකරුවා මෙන්ම ප්‍රේක්ෂකයාද මැදිහත්විය යුතුය.  එබැවින් අප නිශ්චිතව මෙසේ කියමු….
ජනතාවගේ රඟහල් උදුරා නොගනිව්!
කලා රසවින්දනය සදහා පීඩිතයන්ට ඉඩ දියව් !

සුදර්ශිය

ලුම්බිණිය

ජෝන් ද සිල්වා රගහල අලුත්වැඩියා කරමින්

එල්ෆින්ස්ටන් රගහල අලුත්වැඩියා කරමින්