Posted on 08.03.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සයිටම් ආයතනය උපාධි ප‍්‍රදාන ආයතනයක් ලෙස පිළිගැනීමට තරම් අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුනු දක්වන ලදී. වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම කරුණු ඉදිරිපත් කළේය.
සයිටම් ආයතනයේ සිසුන්ට මුදල් ගෙවා ලබාගන්නා පාඨමාලාව සම්පූර්ණ කළ පසුව වෛද්‍ය වෘත්තිකයින් ලෙස ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කර ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචන පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ මේ බව අනාවරණය විය. විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන පනතෙහි 25 වැනි වගන්තිය අනුව උපාධි ප‍්‍රදාන ආයතන සම්බන්ධයෙන් බලයලත් නිලධාරියෙකු විසින් නිර්දේශ ලබා ගත යුතුය. එම පනතෙහි 70 වැනි වගන්තිය අනුව එම බලයලත් නිලධාරීන් ලෙස විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත එම බලතල පවරා ඇති බවද ජනාධිපති නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.
නමුත් සයිටම් ආයතනය සම්බන්ධයෙන් එම බලයලත් නිලධාරින් විසින් නිර්දේශයක් හෝ අනුමැතියක් ලබා දී නැති තත්වයක් තුළ උසස් අධ්‍යාපන ඇමතිවරයා විසින් සයිටම් ආයතනය උපාධි ප‍්‍රදාන ආයතනයක් ලෙස ප‍්‍රකාශ කිරීම මගින් නීතිවිරෝධී ක‍්‍රියාවක් සිදු කර ඇති බවද නීතිඥ මනෝහර ද සිල්වා පෙන්වා දුන්නේය. මේ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචන පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම හෙට දක්වා (04) කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.