Posted on 11.23.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2017 ජූලි 20 වැනිදා කොළඹ 7 විද්වත් වෘත්තිකයන්ගේ කාර්යාලය ඉදිරිපිටදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් පැහැරගැනීමට තැත් කිරීම ගැන කළ පැමිනිල්ලට ජාතික පොලිස් කොමිසම විසින් කැකිල්ලේ වර්ගයේ තීන්දුවක් ලබා දී ඇත.
වෛද්‍ය විපුල වික්‍රමසිංහ විසින් මෙම පැමිනිල්ල ඉදිරිපත් කර ඇත්තේ සිවිල් ඇදුමින් පැමිණ අනන්‍යතාව සහතික නොකර බලහත්කාරයෙන් පුද්ගලයකු රැගෙන යාමට උත්සාහ ගැනීම සම්බන්ධව පැමිනිල්ලක් වශයෙනි. එහෙත් මුලු රටම විමතියටත් භීතියටත් පත්කළ එම සිදුවීම ගැන පොලිස් කොමිසමේ විමර්ශනයක් සිදුකළ බව පවසමින් එය සාමාන්‍ය අත්අඩංගුවට ගැනීමක් බව තහවුරු කරන්නට කරුනු දක්වමින් සිදුවීමේ බරපතලකම නොසළකා පක්ෂග්‍රාහී නිගමනයක් පොලිස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇත.
පොලිස් කොමිසම විසින් පැමිනිලිකාර වෛද්‍යවරයාට පිටපතක් එවා ඇති 2017 නොවැම්බර් 10 දරන ලිපියෙන් අදාළ සිදුවීම සම්බන්ධව පොලිස් කොමිසම විසින් විමර්ශනයක් සිදුකළ බව පැවසුණද එවැනි පරික්ෂනයකදී අගතියට පත් පාර්ශ්වවලින් කරුනු විමසීම සාමාන්‍ය ක්‍රමය වුවද එවැනි කිසිදු කරුනු සොයාබැලීමකින් තොරව පොලිස් කොමිසම පිටු දෙකක වාර්තාවක් ඉදිරිපත් කර ඇත. ජූලි 20 වැනිදා අගනුවර මධ්‍යයේ මහදවල් සිදුකරන්නට ගිය බලහත්කාරී පැහැරගැනීමේ උත්සාහය අසාර්ථක වීම නිසා එහිදී පැහැරගැනීමක් සිදු නොවූ බව පවසන්නටත් අදාළ පැමිනිල්ලේ කරුනු ඉදිරිපත්කිරීම් නොසළකා පොලිසිය වෙනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පළ කළ අදහස් පුනරුච්චාරණය කරන්නටත් පොලිස් කොමිසම දුර්වල උත්සාහයක් ගෙන ඇත.
කෙසේවෙතත් මෙම සිදුවීම සරල ලෙස මගහැර යන්නට පොලිස් කොමිසම කටයුතු කිරීමෙන්ම එවැනි කොමිසමක් මහජන මුදලින් නඩත්තු කිරිම කිසිදු අර්ථයක් නැති බව සනාථ කරයි. එපමණක් නොව සාමාන්‍ය අධිකරණ ක්‍රියාවාලියක් ගෙන යන්නට පවා නොහැකි වන ලෙස පොලිස් කොමිසමේ වාර්තාව හරසුන් ලේඛනයක් ලෙස ඉදිරිපත් කර ඇත. එහෙත් මෙම සිදුවීම ගැන පැමිනිල්ල ඉදිරිපත් කල වෛද්‍යවරයා හෝ ඔහු නියෝජනය කරනවා කියන ‘ජනපවුර‘ නමැති සංවිධානය විසින් මෙම නිගමනය අභියෝගයට ලක් නොකිරීමෙන් ඔවුන්ද පොලිස් කොමිසමේ කැකිල්ලේ තීන්දුව භාරගෙන ඇති බව පෙනෙන්නට තිබේ.
