සයිටම් අහෝසි කිරීමේ පොරොන්දුව සමග කොටුව ශිෂ්‍ය අට්ටාලය ඉවත් කරයි !
Posted on 11.09.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මුදලට උපාධි ලබාදෙන මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා සිදුකළ මාරාන්තික උපවාසය අවසන් කිරීම නිමිත්තෙන් සයිටම් විරෝධී අරගලයේ පාර්ශ්ව එක්වූ රැළියක් අද (09) කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී පැවැත්විණි.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව, වාමාංශික පක්ෂ හා බහුජන සංවිධාන නියෝජිතයන් ඇතුලූ පිරිසක් මෙහිදී එක්ව සිටියහ. මරදානේ සිට පාගමනින් කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටට පැමිණි පසුව රැළිය ආරම්භ කරනු ලැබිණි. සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා කොටුව දුම්රියපොල ඉදිරිපිට දින 77 ක් පුරා පැවති උපවාසය ඒ සමග අවසන් වූ අතර, එහි ඉදිකර තිබූ අට්ටාලය ද ඉවත් කරගනු ලැබිනි.
රැළිය අමතා අදහස් දැක්වූ අ.වි.ශි.බ.ම. කැදවුම්කරු ළහිරු වීරසේකර කියා සිටියේ සයිටම් විරෝධී අරගලය ආරම්භ කළේ ශිෂ්‍ය ව්‍යාපාරය වුවද ආණ්ඩුව විසින් ගෙන ඇති බවට ප්‍රකාශ කළ සයිටම් ආයතනය අහෝසි කිරිමේ තීරණය දැවැන්ත ජනතා බලවේගයක ජයග්‍රාහී මංසන්ධියක් බවයි. තවදුරටත් අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙළෙද භාණ්ඩකරණයට එරෙහි අරගලයට සියලු බලවේගවල සහයෝගය අවශ්‍ය බව එහිදී ඔහු පෙන්වා දුන්නේය. තවද සයිටම් අරගලයේදී ඇත්ත ජනතා අරමුනු සමග සටන් වැදුනේ කවුරුන්ද යන්නත් අරගලයට පිටුපා පාලකයන්ගේ අරමුනු වෙනුවෙන් පාවාදීම් කළේ කවුරුන්ද යන්නත් හෙලිදරව් වූ බවද කීය. එසේම සයිටම් විරෝධී අරගලය හමුවේ දණ නැමූ පාලකයන් හෙට දවසේ වංචනික ලෙස කටයුතු කරයි නම් එහිදී අද ගලවා දමන වේගයට වඩා වේගයෙන් යළි අරගල පැන නැගෙන බවට අවධාරණය කළේය.