தமிழ்
English
Contact
Friday 20th October 2017    
මදුරු ගහණය වැඩි බව කියන්නෙ නෑ, විකුණන්න පුලුවන් නිසා අලි ගහණය ගොඩක් වැඩියිලු ! – සුජිත් කුරුවිට « Lanka Views | Views of the truth

මදුරු ගහණය වැඩි බව කියන්නෙ නෑ, විකුණන්න පුලුවන් නිසා අලි ගහණය ගොඩක් වැඩියිලු ! – සුජිත් කුරුවිට



මදුරු ගහණය වැඩිවීම නිසා සිදුව ගැටලු පාලකයන්ගේ අවධානයට ලක් නොවුණද අලි ඇතුන් පිටරටවලට විකිණීමේ අරමුණ නිසා අලි ගහණය වැඩිවීම අවධානයට ගැනෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සුජිත් කුරුවිට පවසයි.

කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය ඇමතිවරයා පසුගියදා ප‍්‍රකාශයක් කරමින් මෙරට අලි ඇතුන් ප‍්‍රමාණය වැඩි බව පවසමින් එසේ වැඩි ප‍්‍රමාණය විදේශයන්ට විකුණා ආදායම් ඉපදවීමේ අරමුණ ප‍්‍රකාශයට පත්කර තිබිණි. මේ සම්බන්ධව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස පළ කරමින් සැප්තැම්බර් 7වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට විසින් පළ කළ අදහස් මෙසේ පළ කරමු.

“ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් වන කරුණාරත්න පරණවිතාන විසින් කළ ප‍්‍රකාශයක් සමාජ අවධානයට ලක් වුණා. අලි ගහණය වැඩි නිසා පිටරටවලට අපනයනය කරන්න ඕන බවත් තවත් සතුන් ගහණය අඩු කරන්න ඝාතනය කරන්න ඕන කියන අදහසත් ප‍්‍රකාශ කළ බව වාර්තා වුණා. ඒ සමගම මේ ප‍්‍රකාශය ගැන ආන්දෝලනයක් ඇති වෙලා, විවිධ විරෝධතා මතු කරන්න විවිධ සංවිධාන හා ආයතන එක් වුණා. අපි මේ මාධය සාකච්ඡුාව කරන්නෙ ඇමතිවරයාගෙ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වන්න නම් නෙවෙයි. නමුත් මේ ආණ්ඩුවත් මීට කලින් ආණ්ඩුත් ගෙනයන ආර්ථික ප‍්‍රතිපත්තිවල වැරදි සංවර්ධන උපායමාර්ගවල පිළිබිඹුවක් විදියටයි අපි මේ ප‍්‍රකාශය දකින්නෙ. එක පැත්තකින් නියෝජය ඇමතිවරයා ඇත්ත කියනවා. නමුත් ආණ්ඩුවේ බොහෝ දෙනා මේ ඇත්ත වසන් කරන්න හදනවා. මොනවද හංගන ඇත්ත කියලා බලමු.

ආණ්ඩුවේ සංවර්ධන උපායමාර්ගය යටතේ පරිසර සම්පත්, සොබාදහම ආදායම් උපයන දෙයක් බවට පත් කරමින් සිටින බව තමයි ඒ ඇත්ත කාරනාව. පසුගිය කාලෙ වරින්වර මේ ප‍්‍රශ්නය වෙනත් ආකාරවලින් මතු වුණා. අපි දන්න විදියට ලංකාවෙ අලි ඇතුන් වගේම සත්ව විශේෂ ලෝක උරුමයක් විධියට හඳුන්වනවා. ලෝකයේ විවිධ රටවල අලි ඇතුන් හිටියට ලංකවේ අලි ඇතුන් වෙනම සත්ව විශේෂයක්, Elephas maximus maximus ලෙස තමයි හඳුන්වන්නෙ. මේ විශේෂය ලංකාවට ආවෙණිකයි. 1986දි ජාත්‍යන්තර සොබා දහම් සංරක්ෂණ සංගමය (IUCN) විසින් ප‍්‍රකාශයට පත් කළ ආකාරයට ලංකාවෙ අලි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂයක්. ඒ වගේ සත්වයෙක් තමයි ලංකාවට අතිරික්තයක් තියෙනවා කියලා මේ ආණ්ඩුව විකුණන්න හදන්නෙ.

පසුගිය රාජපක්ෂ ආණ්ඩුවෙන් 2011 අගෝස්තු 11, 12, 13 ලංකාවෙ අලි ඇතුන් පිළිබඳ සංගණනයක් කළ අවස්ථාවෙ මේ සංගණනය කෙරෙන්නෙ සතුන්ටවත් සොබාදහමටවත් මිනිස්සුන්ටවත් ඇති ආදරයට නෙවෙයි කියලා පරිසරවේදින් ප‍්‍රකාශ කළා. ඔවුන්ගෙ සැකය පිළිබඳ ඇමතිවරයා ප‍්‍රකාශයක් කළා. දළ ඇතුන්ගෙ පැටවු අරගෙන පෙරහැරවල ඇතුන්ගෙ හිගවීමේ ප‍්‍රශ්නට විසඳුමක් දෙන්න ඒ ඇතුන් ඉන්න තැන් දැනගන්න තමයි මේක කරන බවයි ඔහු කිව්වෙ. සංගණනයෙන් කිව්වා ලංකාවෙ අලි ඇතුන් 5879ක් ක් ඉන්නවා කියලා. නමුත් ඒ දක්වා සංඛ්‍යාලේඛන තිබුණෙ අලි ඇතුන් 2500ක් 3000ක් ඉන්න බවටයි. එකවර මේ තරම් විශාල සංඛ්‍යාවක් ඉන්න බව කීවම පරිසරවේදින් කිව්වෙ, ද්විගණනයක් සිදු වියහැකියි කියලා. අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ අරමුණ ලෙස පෙරහැරට ගන්න, පන්සල්වලට ගන්න, සංචාරක කර්මාන්තයට ගන්න සහ අපනයනය කරන්න අලි ඇතුන් අල්ලාගැනීමේ අරමුණක් ආණ්ඩුවට තිබුණා. ලංකාවෙ අලි ඇතුන් වැඩි නිසා එසේ කරන බව කියන්න මග පාදාගන්න අලි ඇතුන් සංගණනයකින් 5879ක් ඉන්න බවට ප‍්‍රකාශයක් කල බවයි ඒ දිනවල සාකච්චාවට ආවෙ. මේ ආණ්ඩුවෙ නියෝජ්‍ය ඇමතිවරයා කියන්නෙත් ලංකාවෙ අලි ඇතුන් 4000ක් හිටියම ඇති දැන් 6000ක් ඉන්නවා ඒ නිසා 2000ක් ආදායමක් ගන්න පුලූවන් නිසා අපනයනය කරන්න ඕන කියන කාරණාවයි.

දැන් මේ ප‍්‍රශ්නය ලංකාවෙ ගොවි ජන ජිවිතයට බලපාන තත්වයක් තියෙනවා. ලංකාවෙ වියළි කලාපයේ වනාන්තර ආශ‍්‍රිතව අලි ඇතුන් ජිවත්වන බව අපි දන්නවා. ඒ වනානන්තර කලාප ගොවි බිම්වලට යාබදව තියෙන්නෙ. වන කලාපය ටිකෙන් ටික අඩු කරමින් විශාල පරිසර විනාශයක් සිදුවෙමින් තියෙන නිසා අලි ඇතුන්ට ආහාර හා වාසභූමි වෙනුවෙන් සංක‍්‍රමණය වෙන්නත් වෙලා තියෙනවා. මේ තත්වය තුළ අලි – මිනිස් ගැටුමක් කියලා දෙයක් අපේ භාෂා ව්‍යවහරායටත් ඇවිත්. අවුරුද්දකට පුද්ගලයන් 50ක් විතර අලි ඇතුන්ගෙ ප‍්‍රහාරවලින් මියයනවා. අලි ඇතුන් 150ක් සමහරවිට 200ක් පමන මිනිස් මැදිහත්වීමෙන් මරාදමනු ලබනවා. මේ නිසා අලි ඇතුන් මියයන එක විතරක් නෙවෙයි, ගම්වල විශේෂයෙන් ගොවි ජනතාව මියයනවා. එවැනි ජිවිත හානි නිසා පීඩාවට ලක්වන ජනයාගෙන් අදහසක් ප‍්‍රකාශ වෙනවා අලි ඇතුන් මරා දමලා හරි ජිවිත ආරක්ෂාව සලසා දෙන්න කියලා. අන්න ඒ ප‍්‍රශ්නය දඩමීමා කරගෙන දැන් ආණ්ඩුව උත්සාහ කරනවා අලි ඇතුන් පවා පිටරට පටවලා ආදායමක් උපදවන්න. මේ ප‍්‍රශ්නය පැන නැගීමට ආණ්ඩුවේ මැදිහත්වීමේ ස්වභාවයක් තිබෙනවා. අලි ඇතුන්ගෙ වාසභූමි සංවර්ධන කටයුතු මුවාවෙන් විනාශ කරමින් පවතිනවා. වනාන්නර මැදින් අධිවේග මාර්ග ඉදිකරමින් අපි දැක්කා විල්පත්තුවේ වැනි ස්ථානවල කෙරුනු විනාශය. අලි ඇතුන් වැඩිකම නොවේ, වනාන්තර ප‍්‍රමාණය අඩුවීමේ ප‍්‍රශ්නයයි මෙතන තියෙන්නෙ. අලි ඇතුන්ගෙ ප‍්‍රශ්නය කතාකරන අය වනාන්තර විනාශ කිරීමේ ප‍්‍රශ්නය කතා කරන්නෙ නෑ. දේශපාලන බලය යොදවා වන විනාශයන් කිරීම ව්‍යාපාරික කටයුතුවලට වන විනාශයන් කිරීම, දැන් අපි දන්නවා දෙහිඅත්තකණ්ඩියේ, රිදීමාලියද්දෙ, මොණරාගල, හම්බන්තොට ගොවිඉඩම් හෙක්ටයාර දහස් ගණනින් විකුණමින් ඉන්නවා. මේ සමහර වගා ඉඩම් කාලයක් තිස්සෙ ගොවි ජනතාව පාවිච්චි කළත් ඒවා අලි ඇතුන් වාසභූමි. විශේෂයෙන් හේන් ගොවිතැන කාලයක් කරලා ගොවින් කාලයක් ඒ ඉඩම් කැලෑවෙන්න අරිනවා, අලි ඇතුන් සමග ගැටුමක් තිබුනෙ නෑ. දැන් වානිජ වගාවන්ට මේ ප‍්‍රදේශ වටකරමින් අත්පත් කරගත්තම ගම්බිම්වලට අලි ඇතුන් එන එක වළක්වන්නෙ අක‍්‍රමවත් ආකාරයෙන්. වනජීවි නිලධරින් සංඛ්‍යාවත් ප‍්‍රමාණවත් නෑ. ඒ වගේම අලි වැටවල් ඉදිවෙන්නෙ නෑ, අලි වෙඩි පවා අවශ්‍ය ප‍්‍රමාණයට ලැබෙන්නෙත් නෑ. ඒ නිසා ගොවි ජනතාව ජීවිත තර්ජනයට ලක් වෙනවා. ආර්ථික අරමුනු නිසා වගා ඉඩම් කොල්ලය නිසාත් වන විනාශයේ වගකීම ආණ්ඩුව භාරගත යුතු නිසාත් ඒ ප‍්‍රශ්නයේ ප‍්‍රධාන වගඋත්තරකරුවා ආණ්ඩුවයි. පසුගිය කාලෙයේ මේ රටේ වන වැස්ම සීග‍්‍රයෙන් අඩු වෙමින් තිබෙනවා. 1980 24%ක්ව තිබුණු වනාන්නර භූමි ප‍්‍රමාණය 2000 පමණ වනවිට 20% බව ගණන් බලා තිබුනා. දැන් ඒක 16%ක් පමණ වන බව ප‍්‍රකාශ වෙනවා. වනජිවින්ට වාසස්ථාන අහිමි වෙන්නෙ ඒ ආකාරයෙන්.

පහුගිය කාලෙ මේ රටේ ජනතාවගේ ජිවිත බිලිගත් වෙනත් ආකාරයේ පාරිසරික විපත්වලටත් හේතුවආණ්ඩුවේ වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති සහ බල දේශපාලන උවමනාවන් වෙනුවෙන් ව්‍යාපාරිකයන් සතුටු කරන්න වන වානාහයන් හා බෑවුම් හා ජලාශ පෝශක ප‍්‍රදේශ විනාශ කරන්න ඉඩ සැලසීමයි. සංවර්ධන ක‍්‍රියාමාර්ග ලෙස ආණ්ඩුව විසින් මේ පටු වාසි වෙනුවෙන් සැලසුම් කරමින් සිදුකරන විනාශයන් නිසා ජනතාව විතරක් නෙවෙයි වනසතුන් පවා වන්දි ගෙවමින් සිටිනවා. දැන් ඒ වැරදි පිළිවෙත් නිසා ඇතිවන පාරිසරික ප‍්‍රශ්නවලට කල්පවත්නා විසඳුම් දෙනවා වෙනුවට තවදුරටත් සොබාදහම විකිණීම වනසතුන් විකිනීම හෝ මරාදැමීම හැර වෙන උත්තරයකු් මේ අයට නෑ. ඒ නිසා ඒක හෙළිදරව් කරන්න අපට පෙරටුගාමී සමාජවාදී පක්ෂය වශයෙන් වගකීමක් තබෙනවා. ඒ වගේම අපි ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් අහනවා අලි ඇතුන් ගහනය වැඩියි වගේම මදුරුවන් ගහණය ැඩියි කියලා දැනෙන්නෙ නැද්ද? ජනතාවගේ ජිවිතය සම්බන්ධ ප‍්‍රධාන ප‍්‍රශ්නයක්. නමුත් ඒක ඒ අයට දැනෙන්නෙ නැත්තෙ අලි ඇතුන් ගහණය වැඩි වුනාම තමයි විකුනලා යමක් උපයා ගන්න පුලූවන්.

ඒ නිසා ආණ්ඩුවේ මේ පිළිවෙත අපි දේශපාලන පක්ෂයක් ලෙස දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. අපි ජනතාවට කියනවා මේ කාරණය වටහාගන්න, මේ පාලකයන් පරිසරය හා වනසතුන් විනාශ කරමින් මිනිස් ජිවිත අනාරක්ෂිත තත්වයට ඇද දමන මේ ව්‍යාජ ආර්ථික සංවර්ධන ක‍්‍රියාදාමය පරාජය කරන්න ජනතාව සූදානම් වියයුතුයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වහයෙන් අපි මේ රටේ පරිසරවේදීන්, පරිසර සංවිධාන සමග එක්ව මේ රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් පාරිසරික සම්පත් ආරක්ෂා කිරිමට ක‍්‍රියාත්මක වෙන්න සූදානම් බව අවධාරණය කරන්න කැමතියි.“

Save

Save

Save

Save




Related News