தமிழ்
English
Contact
Sunday 6th August 2017    
රනිල් සතු ආර්ථික කටයුතු තීරණය කිරීමේ බලයට මෛත්‍රී අතගසයි! « Lanka Views | Views of the truth

රනිල් සතු ආර්ථික කටයුතු තීරණය කිරීමේ බලයට මෛත්‍රී අතගසයි!




ජාතික ආර්ථික කවුන්සිලය නමින් නව ආයතනයක් පිහිටුවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමත් සමග අගමැති රනිල් වික්‍රමසිංහ විසින් දැනට පවත්වාගෙන යන ආර්ථික කලමනාකරණ කමිටුව අභියෝගයට පත්ව ඇත. ජනාධිපතිවරයා ඔහුගේ ප්‍රධානත්වයෙන් කැදවන්නට යෝජනා කරන මෙම ‘ජාතික ආර්ථික කවුන්සිලය‘ට අගමැතිවරයා, මුදල් ඇමතිවරයා, මුදල් අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශය කිහිපයක නිළධාරීන් ඇතුළත්ය. කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මෙම කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබේ. ආර්ථික හා සංවර්ධන ව්‍යාපෘති සම්බ්න්ධයෙන් අවසන් තීරණ ගැනීම මේ වනවිට අගමැතිවරයාගෙන් මූලිකත්වයෙන් සමන්විත ආර්ථික කළමනාකරණය සඳහා වූ කමිටුව මගින් ක්‍රියාත්මක වන අතර නව කවුන්සිලය හරහා එම බලය ජනාධිපතිවරයා යටතට ගනු ඇත.
ඇමති මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුව නව ආර්ථික කවුන්සිලයේ විෂයපථයට අන්තර්ගතවන ප්‍රධාන කරුණු මෙසේය.

  1. ආර්ථික ප්‍රතිපත්ති, සැලසුම් තීරණය කිරීම හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා නියාමනය කිරීම
  2. සමස්තයක් ලෙස හා ධරනීය ලෙස ආර්ථික ප්‍රතිපත්ත සැලසුම් කිරීමේදී උපදේශකත්වය සැලසීම
  3. ආණ්ඩුවේ ආර්ථික සැලසුම් හා ප්‍රමුඛතාවන්ට සරිලන ලෙස රජයේ ආයතනික ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කිරීම සම්බන්ධීකරණය
  4. අමාත්‍යංශ හා ආයතනවල ආර්ථික ප්‍රතිපත්ති සහ ව්‍යුහයන් සමාලෝචනය කිරීම හා ආණ්ඩුවේ අවශ්‍යතාවන්ට සරිලන ආකාරයට වෙනස්කම් කිරීමේ උපදේශකත්වය ලබාදීම
  5. රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති තීරණ ක්‍රියාත්මක කරන ආයතනවල කටයුතු කාර්යක්ෂම හා ඵලදායක ආකාරයෙන් සිදුකරනු පිනිස එම ආයතන හරහා යාන්ත්‍රනයන් හා වැඩසටහන් ක්‍රියාත්මක කරවීමට කටයුතු කිරීම
  6. රාජ්‍ය ආර්ථික පිළිවෙත් පිළිබද තොරතුරු රැස්කිරීම හා අවශ්‍යතා අනුව ජනතාවට ලබාදීම

යෝජිත නව ජාතික ආර්ථික කවුන්සිලයේ ප්‍රධානියාද ජනාධිපතිවරයා වන අතර අගමැතිවරයා, මුදල් ඇමති, ජනාධිපති ලේකම්, අගමැති ලේකම්, කැබිනට් මන්ඩල ලේකම්, ජාතික ආර්ථික කමිටු ලේකම්, මහබැංකුවේ අධිපති මෙම කවුන්සිලයේ සෙසු සාමාජිකයන් අතර සිටී.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු ආර්ථික කළමනාකරණය සඳහා වූ කමිටුවේ නියෝජිතයන් ලෙස පාස්කරලිංගම් සහ චරිත රත්වත්තේ කටයුතු කරන අතර ඔවුන් සම්බන්ධයෙන් ආණ්ඩුවේ බොහෝදෙනාගෙන් විවේචන එල්ල වී තිබේ. විශේෂයෙන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දිගින් දිගටම මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත් කළ අතර නව කවුන්සිල පිහිටුවීම සම්බන්ධයෙන් ද ඔවුන්ගේ පෙළඹවීම හේතුවක් විය. මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ආර්ථික, සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අවසන් තීරණ ගැනීමට පෙර තමාව දැනුවත් කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරින්ට නියෝග කර ඇත.

මේ අකාරයට අනුක්‍රමයෙන් ජනාධිපති බලය යටතේ බොහෝ විෂයන් පාලනය කිරීමට උත්සාහ දැරීමද නැවත මහින්ද රාජපක්ෂ යුගයේම දිගුවක් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙති. අගමැති රනිල් වික්‍රමසිංහ විසින් නවලිබරග් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමේ අරමුණින් සිය පාලනයට ආර්ථික කටයුතු පවරාගෙන තීන්දු තීරණ ගැනීමේදී එය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ක්‍රමයට හරස් ලෙස දක්නට ලැබුණද ජනාධිපතිවරයාට වුවද තමන් විසින් මෙහෙයවන ආයනයකින් ඉටුකරන්නට වැඩි යමක් නැත. ඔහු සිදුකරන්නට යනක්නේ සියල්ල සිය සිතැගි අනුව ක්‍රියාත්මක කිරීම සදහා අත්තනෝමතිකත්වය භාවිත කිරීම බවට සැකයක් නැත.



Related News