தமிழ்
English
Contact
Thursday 23rd November 2017    
මැතිවරණ කල්දැමීම – අර්බුදයේ ගැඹුර සොයන මිනුමක් ලෙස…. « Lanka Views | Views of the truth

මැතිවරණ කල්දැමීම – අර්බුදයේ ගැඹුර සොයන මිනුමක් ලෙස….



පළාත් පාලන ඡන්ද විමසීම් පනත අගෝස්තු 25වැනිදා සම්මත වීමත්, පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත සැප්තැම්බර් 20වැනිදා සම්මත වීමත් සමග මැතිවරණ කල් දැමීම සම්බන්ධ සංවාදය යලි කරළියට පැමිණ තිබේ. 2012 අංක 22 දරණ පළාත් පාලන ඡුන්ද විමසීම් පනත සංශෝධනය කරමින් පැමිණි පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 120 ලැබුණු අතර 44 දෙනකු ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. 1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කරමින් පැමිණි පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිතා කළ මන්ත‍්‍රී සංඛ්‍යාව 154ක් වන අතර විරුද්ධව ඡුන්දය භාවිත කළ මන්ත‍්‍රී සංඛ්‍යාව 43ක් විය. එය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වුයේ විපක්ෂය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණද ඊට පක්ෂව ඡන්දය භාවිතා කිරීමත් සමගිනි.
මේ පනත් සංශෝධනවල අරමුණ ලෙස විවිධ දේ ප‍්‍රකාශයට පත් කර තිබුනද එහි සැබෑ අරමුණ මැතිවරණ නියමිත දිනට නොපවත්වා කල් දැමීමයි.

පළාත් පාලන මැතිවරණය මේ වනවිටත් අවුරුදු දෙකහමාරකටත් වඩා කල් දමා තිබේ. නියමිත කාලයට පැවැත්වුයේ නම් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුව තිබුනේ 2015 වසරේදීය. 2015 ජුනි 15 වැනිදා පළාත්පාලන ආයතන විසුරුවා හැරි අතර ඉන් අනතුරුව ඒවා පාලනය වන්නේ විශේෂ කොමසාරිස්වරුන් යටතේය. මේ අතර පළාත් සභා කිහිපයක නිල කාලය මේ මාසය තුළ අවසන්වීමට නියමිතය. ඒ අනුව සබරගමුව පළාත් සභාවේ නිලකාලය සැප්තැම්බර් 26 වැනිදා මධ්‍යම රාත‍්‍රියෙන්ද, නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය සැප්තැම්බර් 30 වැනිදායින් ද, උතුරු මැද පළාත් සභාවේ නිල කාලය ඔක්තෝබර් පළමු වැනිදායින් ද අවසන් විය.

ආණ්ඩුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් 20 වන ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ප‍්‍රවේශ වුයේ පළාත් සභා මැතිවරණයද කල් දැමීම සඳහාය. නමුත් එම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමටනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡුන්දයට අමතරව ජනමත විචාරණයක්ද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමග සැප්තැම්බර් 19වැනිදා ආණ්ඩුව 20වන ව්‍යවස්ථා සංශෝධනය අත්හැර දමනු ලැබීය. ඉන් පසුව සිදු වුයේ සාමාන්‍ය නීති සම්ප‍්‍රදායටද පිටස්තරව එහි අඩංගු අන්තර්ගතයම පළාත් සභා පනතට සංශෝධනයක් ලෙසින් පාර්ලිමේන්තුවට පසුවදාම ඉදිරිපත් කර දවසක් ඇතුලත සම්මත කර ගැනීමයි.

පනතේ මූලික අරමුණ ලෙස ප‍්‍රකාශ කෙරුනේ කාන්තා නියෝජනය 30%ක් කිරීම වුවද සැබවින්ම සිදුවී ඇත්තේ එය දඩමීමා කර ගනිමින් සමස්ත මැතිවරණ ක‍්‍රමයම වෙනස් කිරීමයි. එහිදී පළාත් සභාවලට නියෝජිතයන් පත්වීමද කොට්ඨාශ ක‍්‍රමයට සිදු කෙරෙන ලෙස ව්‍යවස්ථාව වෙනස් කර තිබේ. කාන්තා නියෝජනය වැඩි කිරීම සහ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම අතර සම්බන්ධයක් නැත. සැබවින්ම සිදු කෙරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප‍්‍රතික්ෂේප වූ පනතක් පිටුපස දොරින්, වෙනත් නමකින් ගෙනවිත්, පුරවැසියන්ට එය අධිකරණයේ අභියෝග කිරීමේ අයිතිය පවා අහිමි කර එක දවසක් තුළ අත්තනෝමතික ලෙස සම්මත කර ගැනීමයි. මෙය පවතින පනතට සංශෝධනයක් නොව අලූත් පනතක් බව ඔප්පු වන්නේ පිටු 3ක පනතට පිටු 31ක සංශෝධනයක් ගෙන ඒම නිසාය. අනෙක මෙම පනත මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ ප‍්‍රතිපාදන වෙනස් කෙරෙන අතර පනතක් මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගත වනු ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මෙම සංශෝධන පළමුවරට දකින්නේ සැප්තැම්බර් 20 දින පාර්ලිමේන්තුවේ දී වන අතර එය ලංකාවේ වෙනත් කිසිදු පුරවැසියෙකුට දකින්නට ලැබුනේ නැත. මැතිවරණ කොමිෂන් සභාව මෙම සංශෝධනය දකින්නේ සැප්තැම්බර් 20 දින සවස 2.30ට පමණය. ඒ අනුව මෙය රහසේ සම්මත කරගත් පනතකි. තමන් විපක්ෂයේ ලෙස පෙනී සිටින දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අත ඔසවන්නේ එවැනි පනතකටය.

මේ පනතේ සැබෑ අරමුණ කොට්ඨාසවල සීමා නිර්ණය කිරීමට කාලය ගන්නා මුවාවෙන් මැතිවරණය කල් දැමීමට අවකාශ සලසා ගැනීමයි. ආණ්ඩුවට මැතිවරණ කල් දැමීමට සිදුව තිබෙන්නේ මන්ද? එය වටහා ගැනීමට නම් මේ ආණ්ඩුව බලයට පැමිණි ආකාරය පිළිබඳ විග‍්‍රහයක් සිදු කර ගත යුතුය. මේ ආණ්ඩුව ජනතාවගේ පුළුල් අනුමැතියකින් පත්වූ ජනතා අභිලාෂයන් නියෝජනය කරන ආණ්ඩුවක්ද? බොහෝ විට ආණ්ඩු හිතවාදීන් විග‍්‍රහ කරන්නේ එලෙසය. එසේත් නැතිනම් මේ ආණ්ඩුව කිසිදු සමාජ අනුමැතියකින් තොරව විදේශීය බලවේග සහ දේශීය ධනපතියන් එක්ව කළ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිපලයක්ද? බොහෝ විට ඒකාබද්ධ විපක්ෂය ඇතුළු හුදු ආණ්ඩු විරෝධීන් විග‍්‍රහ කරන්නේ එලෙසය. නමුත් හොඳින් සහ ගැඹුරින් විමසා බැලූවහොත් පෙනෙන්නේ මෙම විග‍්‍රහ දෙකම අසම්පූර්ණ බවය.

එවකට පැවතුනු රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළ ආකාරයට එරෙහිව සමාජය තුලින්ම පැනනැගුනු දේශපාලන සටන්පාඨ සහ අභිලාෂයන් දේශපාලන අස්බැන්දුමක් සහ බල ක‍්‍රීඩාවක් හරහා කොල්ලකෑම මගින් මේ ආණ්ඩුව බිහිවූ බව තේරුම් ගැනීම වඩා නිවැරදි වනු ඇත.
ආණ්ඩුව බලයට පත් වීමට පෙර සිටම නව ලිබරල් ධනවාදී ප‍්‍රතිසංස්කරණවලට එරෙහිව පැනනැගුනු ජනතා උද්ඝෝෂණ හිතාමතාම තම සටන්පාඨවලින් දුරස් කිරීමට කටයුතු කළේය. නිදසුනක් ලෙස කම්කරු අයිතීන් වෙනුවෙන් පැනනැගුනු කටුනායක වෙළඳ කලාප කම්කරු අරගලය, සේවා ආර්ථිකය වෙනුවෙන් නිෂ්පාදන ආර්ථිකය බිලිදීමට එරෙහි හලාවත ධීවර අරගලය, ජානක සහ සිසිත ඝාතනය කළ අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි ශිෂ්‍ය අරගලය, රතුපස්වල සහ තුන්නාන ජනතාව අතරින් ඊනියා සංවර්ධන උපායමාර්ගයේ පාරිසරික විනාශයට එරෙහිව පැනනැගුනු අරගලය ආදී ජනතා අරගලවල සටන්පාඨ මැතිවරණයේ වේදිකාවල හඬ නැගුනේ නැත. ඒ වෙනුවට ගෙන ආ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍යය වැනි සටන්පාඨද ජනතා අභිලාශයන්ගේ අංශුමාත‍්‍රයක් අඩංගු කරගෙන සිටි අතර ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එම අභිලාෂයන්ද සුන් කර දමනු ලැබීය.

සමාජයේ දේශපාලන අභිලාෂයන් වර්ධනය කිරීමේ කෙසේ වෙතත් ඒවා තෘප්ත කිරීමේවත් හැකියාව, උවමනාව, දේශපාලන දැක්ම හෝ දේශපාලන පෞරුෂය ආණ්ඩුව සතුව නැති බව දැන් ඔප්පු වී අවසන්ය. එපමණක් නොව මැතිවරණවලදී ආණ්ඩුවේ නායකයන් අතහැර දමනු ලැබූ නව ලිබරල් ධනවාදයට එරෙහි ජනතා උද්ඝෝෂණ දිනෙන් දින ශක්තිමත් වෙමින් පවතී. එහි අවසන් ප‍්‍රතිපලය වී ඇත්තේ ආණ්ඩුව ජනතාව අතර වර්ධනය වන අප‍්‍රසාදයක නිමිත්ත බවට පත් වීමයි.

ඒ නිසා වත්මන් මොහොතේ ආණ්ඩුවට මැතිවරණවලට මුහුණ දිය නොහැකිය. සමාජය තුල මතුවී තිබෙන අතෘප්තියට මුහුණ දීමද කළ නොහැකිය. එනිසා මැතිවරණ කල් දැමීම එකම දේශපාලන විකල්පය බවට පත්ව තිබේ. සිය මූල්‍ය බලය, රාජ්‍ය බලය සහ ධනේශ්වර පක්ෂ වල නායකත්ව බලය භාවිතා කරමින් ඉතා නුදුරේදී මෙම තත්වය වෙනස් කරගෙන මැතිවරණ ජයගැනීමේ පරිසරයක් නිර්මාණය කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙයි. නමුත් එතෙක් මැතිවරණ කල් දැමිය යුතුය. පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය කල් දැමීමේ සැලසුම් නිර්මාණය වන්නේ ඒ අනුවය. මෙය එක අතකින් විරුද්ධාභාසයකි. ආණ්ඩුව බලයට පැමිණීමේ ප‍්‍රධාන පොරොන්දුවක් වුයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අපගේ නිර්වචනය සැලකු විට ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ඉතා පුළුල්ය. එම පුළුල් සංකල්පයට සාපේක්ෂව බලන විට මැතිවරණ යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ එක අවම කොන්දේසියක් පමණකි. නමුත් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සංකල්පයට අනුව මැතිවරණ වනාහී එහි උපරිමයයි.

ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ඔවුන්ගේ නිර්වචනයේ වැදගත්ම පාර්ශ්වය කඩකරමින් සිටින අතර ජනතාවගේ පැත්තෙන් බලන විට ධනපති ක‍්‍රමය යටතේ ලබා ගත හැකි අවමය පවා ආණ්ඩුව උදුරා ගනිමින් සිටී. ධනවාදයේ වත්මන් අර්බුදය හමුවේ පාලක පන්තියට මැතිවරණ කල් දැමීමට සිදුවන අතර මැතිවරණ පැවැත්වුවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස, යුක්තිසහගත ලෙස හෝ අවම සමාජමය ප‍්‍රමිතියක් සහිතව එය පැවැත්විය නොහැකිය. පළාත් සභා පනත සම්මත කළ ආකාරය දකින විට පෙනී යන්නේ වර්තමානයේ ධනපති පන්තියට මූලධාර්මික වටිනාකම් කියා දෙයක් හෝ, ප‍්‍රතිපත්තිමය පදනම් කියා දෙයක් හෝ නැති බවයි. ඔවුන් අර්බුදය හමුවේ ඔවුන් විසින්ම සම්මත කළ නීති පොත්, මැතිවරණ සිතියම් දහස්වර උල්ලංඝනය කරමින් සහ වෙනස් කරමින් සිටී. ඒ අනුව දේශපාලනය තක්කඩි ක‍්‍රීඩාවක් බවට පත්ව තිබේ.

මෙම තත්වයට පිළිතුරු සෙවිය හැක්කේ සමාජ වගකීමක් සහිත මිනිසුන්, මේ යථාර්ථය ප‍්‍රතික්ෂේප කරන බලවේග පවතින තත්වය පිළිබඳ කලකිරීම ප‍්‍රකාශ කරමින් දේශපාලනයෙන් ඉවත්වී තමතමන්ගේ කටුව තුලට ගුලි වීමෙන් නොවේ. ඊට ප‍්‍රතිපක්ෂව පීඩාවට පත් බලවේග සහ මේ තත්වයට එරෙහි ප‍්‍රගතිශීලීන් දේශපාලනයට පැමිණීමෙනි. ප‍්‍රතිගාමීන්ට දේශපාලන වේදිකාව සින්නක්කරව පවරා දී ඉවතට යාම වෙනුවට ජනතාව තමන්ගේ ඉරණම පාලනය කිරීමේ බලය තමන්ගේ අතට ගැනීම හැර අන් විසඳුමක් නැත. අප සමාජවාදය කියන්නේ වැඩකරන ජනතාව දේශපාලන වේදිකාවේ ප‍්‍රමුඛත්වය ගෙන මේ අගතීන් සියල්ල පිසදා හරින සමාජයකටය.