Posted on 07.22.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොළඹ පිහිනුම් සමාජයේ පරිශ්‍රයට හදිසියේම කඩාවැදුණු මාර්ග සංවර්ධන අධිකාරියේ බැකෝ යන්ත්‍ර එම ස්ථානයේ ඉදිකිරීම් ඉවක් බවක් නැතිව කඩා දමා ඇත.
මෙම හදිසි ආක්‍රමණය හේතුවෙන් එහි සිටි කුඩා දරුවන් හා කාන්තාවන් බියපත්ව පිහිනුම් තටාකයෙන් ඉවත්ව දිවයනු දක්නට ලැබිණි. සන්නද්ධ පොලිස් භටයන් සමග පැමිණි නිලධාරින් එම කඩාබිදදැමීම අධීක්ෂනය කරනු දක්නට ලැබිණී. කොළඹ පිහිනුම් සමාජයේ නිලධාරින් එම අපරාධකාරී ක්‍රියාව ප්‍රශ්න කරන විට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් ප්‍රකාශ කළේ අධිකරණ නියෝගයක් මත මෙම පරිශ්‍රෙය් අනවසර ඉදිකිරීම් කඩා දමන බවට ඔවුන් කලින් දන්වා තිබුණ බවයි. එහෙත් පිහිනුම් සමාජ නිලධාරින් පවසන්නේ එවැනි දැනුම්දීමක් තිබුණා නම් තම අයිතිවාසිකම් අධිකරණය හමුවේ ඉදිරිපත්කරන්නට හා අතුරු තහනමක් ගන්නට හැකියාව තිබෙන බවයි. කුඩා දරුවන් හා කාන්තාවන් පිහිනුම් තටාකවල සිටියදී හදිසියේ කඩා පැන මෙසේ විනාශයක් සිදුකරන්නට තරම් රාජ්‍ය නිලධාරින් සාහසික වී ඇති බවට එහි සිටි පිහිනුම් සමාජ සාමාජිකයන් දොස් පවරනු දක්නට ලැබිණි. මෙම පිහිනුම් සමාජ පරිශ්‍රයට ආසන්නයේ පිහිටි සමාන ඉදිකිරීම් සීමාවක් සහිත අමෙරිකානු තානාපති කාර්යාලයට හෝ වෙනත් එවැනි ඉදිකිරීම් සහිත පරිශ්‍රවලට බල නොපාන අනවසර ඉදිකිරීම් නීති පිහිනුම් සමාජ පරිශ්‍රයට පමණක් බලපාන්නේ කෙසෙදැයි ඔවුහු ප්‍රශ්න කරති. කුමන්ත්‍රණකාරී ලෙස සිකුරාදා දිනයක මෙම කඩාදැමීම සිදුකරන්නට යොදාගෙන ඇත්තේද අධිකරණ ක්‍රියාදාමයකට යාම දුෂ්කර නිසා බව ඔවුහු පෙන්වා දෙති.
කොළඹ පිහිනුම් සමාජය යනු 1936 වසරේ සිට කොළඹ මධ්‍යම පන්තික ජීවිතයේ වැදගත් සලකුණක් විය. ඉවත්ව යන්නට කිසිදු ඉඩක් නොතබා කොළඹ පැල්පත්වාසී නිවාස සහ පදික වේදිකාවල අනවසර ඉදිකිරීම් ඉවත්කරන විට ඒවා ඉවත් කළ යුතු බවට තර්ක කළ මැද පන්තියේ ජනයාට තමන්ගේ පිහිනුම් සමාජ පරිශ්‍රය මෙසේ කඩාදමන විට ඇතිවූයේ පීඩාකාරී හැගීමක් බවට සැක නැත. කුඩා දරුවන්ට ජල ක්‍රීඩා කරන්නට තිබුණු විශේෂ ක්‍රීඩා තටාකයද ළමා පිහිනුම් තටාකයද අද දින කඩා බිද දමා ඇත.