Posted on 09.18.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මොනරාගල, ඇතිමලේ-වත්තේගම ප්‍රදේශයේ පිහිටි තවත් පාරම්පරික ගොවි ඉඩම් අක්කර 173කට ආසන්න ප්‍රමාණයක් තවත් පුද්ගලික සමාගමකට විකුණා දමා ඇති බව වාර්තා වේ.
මින් පෙර අවස්ථා කිහිපයකදීම පාරම්පරික ගොවි ඉඩම් වලින් යැපුණු ඇතිමලේ පවුල් විශාල සංඛ්‍යාවක් බලහත්කාරයෙන් ඉවත් කරමින් අක්කර ගණනාවක භූමි ප්‍රදේශ පෞද්ගලික සමාගම් වෙත අසාධාරණ ලෙස විකුණා දැමු විහාරමුල්ල විහාරාධිපති හිමියන් විසින්ම මෙම ඉඩම් ප්‍රමාණයත් විකුණා දමා තිබුණි.
අදාළ භුමි ප්‍රදේශය තුල මෙම ගොවීන් ස්ථීර භෝග පවා වගා කරමින් අඛණ්ඩව වසර ගණනාවක්ම ගොවිතැන් කටයුතු වල නිරත ව තිබෙන අතර මේ වන විට එම පාරම්පරික ගොවි බිම මෙලෙස ග්‍රීන් ලංකා නමැති පුද්ගලික සමාගමකට අත්තනෝමතික ලෙස අලෙවි කර දමා ඇත.
ඒ අනුව අදාළ සමාගම විසින් මෙම භුමියේ කම්බි කණු යොදා වටකරමින් පවතින අතර එහි දීර්ඝ කාලීනව ජීවිකාව ගෙනයමින් ජිවත් ව සිටි පවුල් 50කට පමණ ලබන වසරේ අප්‍රේල් මස වන විට එම ඉඩම් වලින් ඉවත් වෙන ලෙසද බලපෑම් කර ඇත.
තමන් සතු එකම ජීවනෝපාය වූ ගොවිතැනින් බලහත්කාරයෙන් එලවා දමා සිය අයිතිය වූ පාරම්පරික ගොවි බිම මේ අයුරින් උදුරා ගනිමින් විශාල පිරිසක් පීඩාවට පත් කරමින් දිගින් දිගටම සිදු කරන මෙම අසාධරණය වෙනුවෙන් ආණ්ඩුවේ කිසිඳු යාන්ත්‍රණයක් තුළින් සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි අතර ඒ වෙනුවට මෙවැනි සමාගම් ආරක්ෂා කිරීම උදෙසා මැදිහත් වෙමින් සිටින බව පැහැදිලි වේ.
