Posted on 09.15.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
සිය පාරම්පරික ගොවි ඉඩම් වලට ඇතිමලේ ගොවීන්ට ඇතුළුවීම වළක්වාලමින් ඊයේ(14) දිනයේදී මැලිබන් පුද්ගලික සමාගම විසින් බලහත්කාරී ලෙස මැදිහත්ව තිබූ බව වාර්තා වේ.
එහිදී ගොවීන් විසින් සිය ගොවිතැන් කටයුතු සඳහා සිය ඉඩම් වලට ඇතුල් වීමේදී මැලිබන් සමාගමේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් මර්ධනකාරී අයුරින් වළක්වාලමින් කටයුතු කර ඇති අතර පිරිසක් විසින් ගොවීන්ට පහර දීමටද උත්සාහ කර ඇත. එහිදී පහර කෑමෙන් වැලක්වීමට උත්සාහ කල කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ඇතිමලේ රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කර තිබුණි.
මෙම පාරම්පරික ගොවි ඉඩම් වත්තේගම විහාරමුල්ල විහාරාධිපති හිමියන් විසින් පසුගියදා මැලිබන් පුද්ගලික සමාගමට විකුණා දමා තිබු අතර එම සමාගම විසින් ඇතිමලේ ගොවීන් සතු අයිතිය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට කටයුතු කිරීමට එරෙහිව අවස්ථා ගණනාවකදීම ගොවීන් විසින් සිය ඉඩම්වලට මැදිහත්වෙමින් විරෝධය පලකර තිබුණි.
පසුගිය 13වන දින මේ සම්බන්ධව කැඳවා තිබු නඩුවේදී ගොවීන් විසින් අනර්ථයක් කිරීම සහ සාමය කඩවන ලෙස හැසිරීම යන චෝදනා වලට වැරදිකරුවන් බව පවසමින් ඔවුන් මෙම ඉඩම් වලින් ඉවත් කර දෙන ලෙස මැලිබන් පුද්ගලික සමාගම විසින් ඉල්ලීම් කර තිබුණද සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කර තිබුණි.
කෙසේ වෙතත් මේ වන විට එම ගොවි ඉඩම් කම්බි වැටවල් ආධාරයෙන් වට කර මැලිබන් සමාගම විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇති බව පැවසේ.
මීට අමතරව මෙම ගැටුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වන විහාරමුල්ල විහාරාධිපති හිමි විසින් ගොවීන් 20දෙනෙකු සඳහා මෙම ඉඩම් වලට ඇතුල්වීම වලක්වා ලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මොනරාගල දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති අතර එය එළඹෙන නොවැම්බර් මස 20වන දින කැඳවීමට නියමිත ව ඇත.
පොලිසියද ගොවීන්ට සිදුව ඇති මෙම අසාධාරණය සම්බන්ධයෙන් මුනිවත රකිමින් මැලිබන් සමාගම වෙනුවෙන් කොන්දේසි විරහිතව කටයුතු කරමින් ඇත.
මෙම ප්‍රදේශයේ පවුල් විශාල සංඛ්‍යාවක් වසර ගණනාවක සිටම සිය ප්‍රධාන ජීවනෝපාය ලෙස සිදු කරන ලද ගොවිතැනට මේ වන විට පාර්ශව කිහිපයක් එක්වී අතිශය අසාධාරණ ලෙස මැදිහත්වෙමින් බහුතරයකගේ අයිතියක් වූ පාරම්පරික හිමිකම උදුරා ගැනීමට පිඹුරුපත් සකසමින් සිටී.