Posted on 09.14.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුව විසින් 2018 වසර සදහා රු. බිලියන 1,813ක් ණය ගැනීමට නියමිත බව මුදල් අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛන හෙලිකරයි.
රජයේ අයවැය ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් යෝජනාවක් ලෙස පසුගිය 12 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පසු එය අනුමත කර තිබේ. 2018 වර්ෂයේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 3,982ක් ලෙසත් පුනරාවර්තන වියදම රුපියල් බිලියන 1,308.9ක් ලෙසත්, ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 668ක් ලෙසත් ඇස්තමේන්තු කර තිබේ. අපේක්ෂිත රාජ්‍ය ආදායම හා විදේශීය ප්‍රදානයන්හි එකතුව රුපියල් බිලියන 2,175ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. රජයේ අත්තිකාරම් වියදම් කටයුතු සඳහා රු. බිලියන 6ක්ද ඇතුළුව හිගය ලෙස රු. බිලියන 1,813ක් දේශීය හා විදේශීය මූලාශ්‍ර මඟින් ණය වශයෙන් ලබා ගැනීමට අපේක්ෂිතය.
2018 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සැප්තැම්බර් මස අවසානයේ පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කැබිනට් මණ්ඩලය සැලසුම් කර තිබේ. තීරණය කර ඇති ආකාරයට 2018 මුදල් වර්ෂය සඳහා මුදල් ඇමති මංගල සමරවීරගේ අයවැය කථාව 2017 නොවැම්බර් 09 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 10, 11, 13, 14 හා 15 යන දිනවල පැවැත්වීමටත්, කාරක සභා විවාදය 16 දින ආරම්භ කිරීමටත්, තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 09 වැනි දින පැවැත්වීමටත් නියමිතය.