தமிழ்
English
Contact
Wednesday 4th April 2018    
සැගවුණු තිරිසනා යළි හිස ඔසවයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සැගවුණු තිරිසනා යළි හිස ඔසවයි!



ජාතිවාදීන් නැවතත් වැඩ අල්ලමින් සිටියි. මෙවර ඔවුන් පියවරක් ඉදිරියට තබමන් මුස්ලිම් ජනතාවගේ දේපළ ප‍්‍රසිද්ධියේ ම (පොලිසිය බලා සිටියදීම) විනාශ කර දමනු ලැබීය. දමුල්ලේදීත්, පොළොන්නරුවේ පල්ලියගොඩැල්ලේදී හා ඕනෑගම දිවුලානේදීත් මුස්ලිම් ජනතාවට පහර දෙනු ලැබුවේ මැරයන් සේ හැසිරුනු චීවරධාරීන්ය, බුද්ධාගමේ ආරක්ෂකයන් බවට තමන්වම අර්ථ ගන්වා ගන්නා රටම හඳුනන උන්ය. පහරදීමේන් නොනැවතී මේ චීවරධාරීන් පැවසුවේ මීට පසුව පොලිසියේ රාජකාරිය තමන් විසින් ඉටුකරන බවය.
සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයේ යෙදුනු සරසවි සිසුන්ටත්, ඔවුන්ගේ දෙමාපියන්ටත් පන්න පන්නා පහර දෙන පොලිසියට, ගොඩනැගිලි ගලවා ඉවත් කරමින් මිනිසුන්ට පහර දෙන කිසිවකු අත්අඩංගුවට ගැනීමට තවමත් හැකි වී නැත. ඇතැම් විද්‍යුත් මාධ්‍ය හා සති අන්ත පුවත්පත් මේ ජාතිවාදීන්ට විශාල ප‍්‍රචාරයක් ලබාදෙමින් ඔවුන් වීරයන් ලෙස භෞතිස්ම කරවන සැලසුම්ද දියත් කරමින් තිබේ.

පසුගිය සතියේ අනුරාධපුර නගරයේ සම අයිතිය ව්‍යාපාරය මගින් විරෝධතාවක් සංවිධානය කර තිබුණේ දෙමළ ජනතාවගේ පැහැරගත් ඉඩම් වහා ඔවුන්ට නැවත ලබාදෙන ලෙසටත් අතුරුදන්වූවන්ගේ තොරතුරු හෙළිදරව් කර ඔවුන්ට යුත්තිය ඉටුකරන ලෙසටත් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසටත් ඉල්ලමිනි. මෙම සත්‍යග‍්‍රහ අට්ටාලය අසලට පැමිණි සිංහල ජාතිවාදී සංවිධානයක යැයි සැක කළ හැකි පිරිසක් සම අයිතිය ව්‍යාපාරයේ සංවිධායකයන් හට තර්ජනය කර තිබුණේ අනුරාධපුරයේ නැවත එවැනි විරෝධතා පවත්වන්නට ඉඩ නොදෙන බව පවසමිනි.

රටපුරා නිතර සිදුවන ස්තී‍්‍ර දුෂණ මංකොල්ල කෑම් ආදිය පවා සංවිධනාත්මකව බෞද්ධයන්ට එරෙහිව සිදුවන අන්තවාදී සංවිධානවලින් මෙහෙයවන කි‍්‍රයාවන් බව පවසමින් මේ ජාතිවාදීහු එබදු සෑම සිදුවීමක්ම සිය සංවිධානයන්හි බලය වර්ධනය කර ගැනීම සඳහා උපයෝගී කර ගනිමින් සිටිති. තී‍්‍රකුණාමල දිස්ත‍්‍රික්කයේ තමිල් පාසැල් ශිෂ්‍යාවන් දෙදෙනකු මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු දූෂණය කිරීමේ සිදුවීමට එරෙහිව තමිල් ජනතාව උද්ඝෝෂණයක නියැලූනේද මුස්ලිම් විරෝධයක් මතු කරලමිනි. ඒ පිටුපස දෙමළ ජාතිවාදීන් ඇතැම්විට සිටින්නට පුළුවන. එලෙසින්ම මුස්ලිම් මුලධර්මවාදී සංවිධාන විසින් සිංහල විරෝධයන් සුක්ෂම ලෙස මතු කරලමින් මුස්ලිම් ජනතාව තුළ සිය මූලධර්මවාදී මත තහවුරු කරලීමට වෑයම් කරමින්ද සිටිති.

සෑම සියලූ ජාතිවාදයක්ම අවසාන විහ‍්‍රහයේදී සේවය කරන්නේ ධනවාදයටම බව ගෙවුනු දශක 6-7ක ලාංකීය ඉතිහාසයම අපිට මනාව පෙන්වාදී තිබේ. 58 ජාතිවාදී කෝලාහලයේ සිට 83 ජූලි කෝලාහලය දක්වා වු සෑම සිදුවීමක්ම හුදු ක්ෂණික සිදුවීම් ලෙස වූ ඒවා බවත් ඒ සෑම කෝලාහලයක්ම අවසානයේ ධනේශ්වර පාලනය පවත්වා ගෙන යෑමට සේවය කර ඇති බවත් අමතක නොකළ යුතුව අත.

සිංහල වේවා, මුස්ලිම් වේවා, තමිල් වේවා, මේ සෑම සියලූ ආකාරයන්ගේම ජාතිවාදයන් සමාජවාදයට සතුරු උපනතීන් බවත් එලෙසින්ම තේරුම් ගත යුතුව ඇත. එපමණක්ද නොවේ. අධිරාජ්‍යවාදය මේ සෑම ජාතිවාදයක්ම සූක්ෂ ලෙස කළමනාකරණය කරන බවද අප කිසිසේත් අමතක නොකළ යුතුව ඇත.

වරක් ඊශ‍්‍රායල් මොසාඞ් සංවිධානයෙන් පළා ගිය එහි එජන්තයෙකු විසින් ලියන ලද පොතක සඳහන් කර තිබුණේ ඊශ‍්‍රායල් හමුදා පුහුණු කඳවුරක එකම වේලාවක, තාප්පයක එක් පසෙක ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදාවන්ටත්, එහිම අනෙක් පසේ් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ටත් ඔවුන් විසින් පුහුණුව ලබා දුන් බවය. ඇෆ්ඝනිස්ථානයේ මුජහිදීන් ගරිල්ලන්ටත්, බින් ලාඩන්ටත්, සුන්නි මුස්ලිම්, ෂියා මුස්ලිම් ගැටුම ඇවිලවීමට ඉරාකයටත් අවි පුහුණුව – මුදල් අවි ආයුධ ඇතුළු සියල්ල අමෙරිකාව ලබාදුන් ඉතිහාසය එතෙකින් අවසන් නැත.

විශේෂයෙන් ජාතිවාදය හිස ඔසවන සෑම මොහොතකම එකී ඉතිහාස පාඩම් ඉගෙන ගත් ජනතාවකගේ යුතුකම වනුයේ ඒ ඕනෑම ආකාරයක ජාතිවාදී ප‍්‍රවණතාවන්ට එරෙහිව නොපැකිලිව පෙරට ඒමය. වාම ව්‍යාපාරයන්ගේ වගකීම වනුයේ එකී ඉතිහාසය නොදන්නා හෝ අමතක කර දමා ඇති වුනාට එකී ඉතිහාසය කියා දෙමින් සෑම සියලූ ජනතාවන් අතරම වන පුළුල් ජාතික සමගියක් වෙනුවෙන් උර දීමය. සම අයිතිය පතා වන සටන පෙරට ගැනීමය.




Related News