தமிழ்
English
Contact
Friday 17th November 2017    
ශිෂ්‍ය වීරයන් යනු….. « Lanka Views | Views of the truth

ශිෂ්‍ය වීරයන් යනු…..



40 දශකයේ දී මෙරට විධිමත් ලෙස උසස් අධ්‍යාපන ක්‍රියාදාමයක් බිහි වූ අතර මුල් වකවානුවේදී දේශීය ධනපතියන්ගේ දරුවන්ට පමණක් හිමිවූ එය 1945 නිදහස් අධ්‍යාපනය හඳුන්වා 1960 දී පාසල් පද්ධතිය රාජ්‍ය මෙහෙයවීම යටතට ගැනීමෙන් පසු සාමාන්‍ය දරුවන් හට ද මෙහි ඉඩකඩ විවර විය. 1942 දී ලංකවේ විශ්වවිද්‍යාලයක් ආරම්භ වූ දින සිටම එය අරගලවල ආරම්භයක් බවට පත් විය.

ශිෂ්‍යයා යනු සැබැවින්ම අරගලකාරී පුද්ගලයෙකි. පාසල් අධ්‍යාපනයෙන් ඔබ්බෙහි මුණ ගැසෙන උසස් අධ්‍යාපන සීමාවේ දී ඔහු හෝ ඇය අත්පත් කරගන්නේ පළල් සමාජ ජාලයකි. විවිධාකාරයේ ප‍්‍රජාවක් එකම තැනක දී මුණ ගැසෙන, පාසලට වඩා යමක් නිදහසසේ සාකච්ඡුා කළ හැකි සංවාද කළ හැකි සහ තීන්දු තීරණ ගතහැකි පරිසරයක්ද ඔවුන්ට හමුවේ. විශ්ව විද්‍යාලය යනු අරගලයට තෝතැන්නකි.

බහුතරයක් දෙනා තමන්ගේ අධ්‍යාපනය පමණක් මූලික කරගෙන වැඩකටයුතු කළ ද තවත් පිරිසක් තමන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා පමණක් නොව අනෙකාගේ අධ්‍යාපනයට අදාළ අවශ්‍යතාවයන් ද තමන්ගේ කරගෙන අසාධාරණය, අවනීතිය, අක‍්‍රමිකතා සහ පොදු රට මුහුණ දෙන ගැටලූවලදී ඒවා පැරදවීමට සටන් මග තෝරා ගනී. එබැවින් ඔවුන්ට උපාධිය මගහැරී යයි. රැුකියාව මග හැරී යයි. පුද්ගලික බලාපොරොත්තු සිහින මේ කිසිවක් ඔවුන්ගේ ජීවිතයට මුණ නොගැසේ. නමුත් ඉතිහාසයක් පුරා තවමත් ඔවුන්ගේ නාමයන් සියලූ ශිෂ්‍ය ප‍්‍රජාවන්ගේ මෙන්ම පීඩාවට පත් සාමාන්‍ය ජනතාවගේ මුවග රැුව් දෙන්නේ ඔවුන් ඉටුකළ අපරිමිත මෙහෙවර නිසාය.

අපට ලාංකීය ශිෂ්‍ය ඉතිහාසය තුළ පළමු සංවිධිත ශිෂ්‍ය අරගලය මුණ ගැසෙන්නේ 40 දශකය අවසානයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ පැන නැඟුණු අරගලයකිනි. සටන පැන නැගුනේ සිසුන්ගේ දිවා ආහාර බෙදීමේදී මතු වූ අක‍්‍රමිකතා පදනම් කරගෙනය. නමුත් එවකට බොහෝ සටන් තම තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන්ට යටත් වූ අතර ඒ සඳහා ඒ වන විට උසස් අධ්‍යාපනය හිමි වූ සිසුන්ගේ පන්ති පදනම ද බලපානු ලබයි. කෙසේ වෙතත් අධ්‍යාපනික අවශ්‍යතාවත් මත සිදු වූ ප‍්‍රථම සිසු අරගලය සිදු වූයේ එම කාලයේ දී ම හොරණ සෞන්දර්ය අධ්‍යාපන පීඨයෙනි. තැන තැන තිබූ සෞන්දර්ය පාඨමාලා එක් ස්ථානයකට ගෙන වෙනම ආයතනයක් පිහිටුවන ලෙස බල කරමින් ගෙන ගිය ශිෂ්‍ය අරගලය ජයග‍්‍රහණයකින් කෙළවර කර ගැනීමට සිසුහු සමත් වූහ.

60 දශකයේ ශිෂ්‍ය ව්‍යාපාරයට වාමාංශික ව්‍යාපාරයේ බලපෑම වඩා හොඳින් දැනී තිබුණු අතර පොදුභාවය පිළිබඳවත් සාමූහිකත්වය, සමානාත්මතාවය පිළිබඳවත් කතිකාවක් විශ්ව විද්‍යාලය තුළ නිර්මාණය විය. අධිරාජ්‍ය විරෝධී සටන් විශ්වවිද්‍යාලය තුළ පැන නැගීමට වාමාංශික ව්‍යාපාරයේ බලපෑම පිටු බලයක් විය. 1965 දී විශාල සිසු මර්දනයකට ලක්වෙමින් වුවද අතිශය ප‍්‍රබල කැප කිරීමක් කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ පැන නැගුණු ශිෂ්‍ය සභාවලට නිල අයිතිය ඉල්ලීම ඇතුළු ඉල්ලීම් 12 ක් මුල් කරගත් ශිෂ්‍ය අරගලය ශිෂ්‍ය ව්‍යාපාරය දේශපාලන භාවිතාවක් කරා ගමන් කිරීමේ තීරණාත්මක සංධිස්ථානයක් විය. සියලූ මර්ධනීය තත්වයන්ට මුහුණ දුන් ශිෂ්‍ය ව්‍යාපාරය එහිදී ද ජයග‍්‍රහණය අත්පත් කර ගැනීමට සමත් විය.

මේ වන විට විශ්ව විද්‍යාල තුළ සිසුන් අතර දේශපාලන භාවිතාව වර්ධනීය මට්ටමට පැමිණ තිබුණි. 1971 අරගලය ද ලාංකීය දේශපාලනයේ පළමු විප්ලවීය අත්දැකීම වූ අතර ඒ තුළ ශිෂ්‍යයන්ද හිංසාවල ගොදුරක් වීම වැළැක්විය නොහැකි විය. මේ අතර 1972 දී ආණ්ඩුව හඳුන්වා දුන් අධ්‍යාපනික ප‍්‍රමිතිකරණයට එරෙහි සිසුන් අඛණ්ඩ අරගලයක් අරම්භ කළ අතර එම අරගලය ධනපති පන්තිය බිය වද්දන්නට සමත් විය. එක් පැත්තකින් රාජ්‍ය මර්දනයත්, අනිත් පැත්තෙන් ව්‍යවස්ථාමය මර්දනයත් සිසුන් වෙත එල්ල කරන ලද අතර එහිදී සිසුන්ගේ මෙන්ම විශ්වවිද්‍යාල සේවකයයන්ගේ අයිතිීන් ද තලා දැමීමට පාලක පන්තිය කි‍්‍රයා කළේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මණ්ඩපාධිපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා අනධ්‍යයන සේවකයන් කළ අරගලයට සරසවි සිසුන්ද සම්බන්ධ වූ අතර ආණ්ඩුව දිගින් දිගටම ඊට එරෙහිව මර්දනය දියත් කිරීම තුළ සිදුවූයේ 1976 නොවැම්බර් 12 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රෝහණ වීරසූරිය සහෝදරයා ඝාතනය කර දැමීමයි. මේ කාලයේදී පැරණි වමේ ව්‍යාපාරය තුළ තිබූ දේශපාලන පීලිපැනීම් හා අගතීන් නව වාම භාවිතාවකට ශිෂ්‍ය ව්‍යාපාරය යොමු කළ අතර විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්වල නිල නායකත්වය ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍ය සංගමයට හිමි විය.

එතැන් සිට ඇරඹුණු ශිෂ්‍ය සටන් සෑම විටම සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම සම්බන්ධ කරන්නක් විය. විශ්ව විද්‍යාලය තුළ මෙන්ම ඉන් එහාට රට තුල සිදුවන ජනතා විරෝධී ක‍්‍රියාවන්ට එරෙහි සටන් වලදී ශිෂ්‍ය ව්‍යාපාරය පෙරමුණ ගත් අතර අධ්‍යාපන කප්පාදුවට එරෙහිව දැවැන්ත අරගල නිර්මාණය විය. ඒ සියලූ තැන්හි සමස්ථ ශිෂ්‍ය ප‍්‍රජාව එයට සකී‍්‍රයව සම්බන්ධ විය. එහිදී ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දුන් සහ ජීවිත පරදුවට තබා සටන් වැදුනු සිසු නායකයන් ද අපට මුණ ගැසේ. 1978 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රු. 300ට වඩා වැඩි වැටුපක් ගන්නා සියලූ දෙනාගේ හාල් පොත කප්පාදුවට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය කළ අරගලයේදී ශාන්ත බණ්ඩාර සහෝදරයා ඇතුළු තවත් ශිෂ්‍ය නායක පිරිසක් මෙම අරගලයට සක‍්‍රීයව මැදිහත් වූහ. රටේ සම්පත් බහුජාතික සමාගම් වලට විකිණීම, අධ්‍යාපන කප්පාදුව, අධ්‍යාපන පෞද්ගලීකරණය, අධ්‍යාපන ධවල පති‍්‍රකාව යන සියල්ලට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය අඛණ්ඩ අරගලයක් දියත් කරන ලදී. බොහෝ සටන් තුළ ශිෂ්‍යයන්ට විවිධ වධ හිංසාවලට මෙන්ම මරණයට ද ගොදුරුවන්නට සිදු වුව ද එම සටන් ජයග‍්‍රහණයෙන් කෙළවර විය. 1983 කලූ ජූලියත් සමග පක්ෂ තහනම් කිරීම දක්වා ආණ්ඩුව ගෙනගිය ජනතා විරෝධී වැඩ පිළිවෙලට එරෙහිව පැන නැගුණු අරගල තුළ සිසු ගොවි කම්කරු සාමූහිකත්වයන් පිළිඹිබු වූ අතර 1984 පේරාදෙණිය සරසවිය තුළ පොලීසියක් ඉදි කිරීමට එරෙහිව දැඩි අධිෂ්ඨානයෙන් අරගල කළ ශිෂ්‍ය ව්‍යාපාරයට එම සටනේ දී පද්මසිරි අබේසේකර සොයුරා පොලිස් වෙඩි පහරකින් අහිමි කරන ලදී.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විරු සිසු ස්මාරකය

එයට විරෝධය පළ කරමින් සියලූ විශ්ව විද්‍යාලවල නැවත සටන් ඇරඹුණු අතර 1984 දී කොළඹ සරසවියේ රෝහණ රත්නායක සොයුරා පොලීසිය විසින් ඝාතනය කරන ලදී. 1987 දී මැයි දිනය තහනම් කිරීමට එරෙහිව පොදු ජනතාව ගෙන ගිය අරගලයට ශිෂ්‍යයන් ද සහයෝගය පළ කළ අතර ආණ්ඩුවට විරෝධය පාමින් මැයි දිනය පවත්වන ලදී. එහිදී කිත්සිරි මෙවන් රණවක සොයුරා සහ කම්කරු සහෝදරයකු වූ ලෙස්ලි පොලිස් වෙඩි පහරින් මරණයට පත්විය. මෙම අරගලය ලාංකීය සමාජයට දැඩි බලපෑම් එල්ල කළ අතර එම අරගලය ආණ්ඩු විරෝධයක් දක්වා ජනතාව පෙළඹවීමට ප‍්‍රධාන උත්පේ‍්‍රරකයක් සපයන ලදී.
1988 න් පසුව අධ්‍යාපන පෞද්ගලීකරණය, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල, පොකුරු පාසල් ආදී විවිධාකාර වූ අධ්‍යාපනය හකුලා දමන ආණ්ඩුවේ වැඩපිළිවෙළ පරාජය කිරීමට පෙළ ගැසුණු ශිෂ්‍ය ව්‍යාපාරයේ දැැවැන්තයන් මරණයට පත්වන්නේ ජනතාවට මෙන්ම අනාගත පරපුරට අධ්‍යාපනයේ අයිතිය ලබා දෙමිනි. 1988 දී කොළඹ සරසවියේ පද්මසිරි ත‍්‍රීමාවිතාන සොයුරා කුරිරු වධයන්ට ගොදුරුව මිය යන්නේ මෙම සටන්වල නායකත්ව කාර්යභාරය ඉටුකළ නිසාවෙනි. 1988 දී ශිෂ්‍ය ව්‍යාපාරයේ නැගීම තුළ භීතියට පත් ආණ්ඩුව ඇරඹූ සිසු දඩයම හේතුවෙන් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයටත් පීඩිත ජනතාවටත් සැබෑ මානවවාදීන් සිය ගණනක් අහිමි කරනු ලැබීය. 1988 නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නන්දන බණ්ඩාර ශිෂ්‍යයාගේ සිට තංගල්ල මධ්‍ය මහා විද්‍යාලයේ, දික්වැල්ල විජිත විද්‍යාලය, ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් විශාල පිරිසක් ද නිමල් බාලසූරිය, එස්.එම්. නිශ්මි, රංජිතම් ගුණරත්නම්, උපාලි ජයවීර, ආනන්ද ඉඩමේගම, වෙනුර එදිරිසිංහ, ගැමුණු යසස්, සේන මච්චාගම ඇතුළු ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයන් ද සිය ගණනක් පැවතුණු ආණ්ඩුව විසින් මරා දමනු ලැබීය.

නවලිබරල් ධනවාදයේ ගොදුරක් බවට පත් වූ සමාජයක් තුළ ජනතා විමුක්ති පෙරමුණ වාම දේශපාලනයෙන් පීලි පැන සශෝධනවාදය දක්වා අපගමනය විය. මේ තත්වය තුළ තවදුරටත් සටන්කාමී ශිෂ්‍ය ව්‍යාපාරයකට නායකත්ව භූමිකාවක් ඉටුකරන්නට නොහැකි වීමෙන් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වය සටන්කාමී ශිෂ්‍ය බලවේග විසින් භාරගන්නා ලදී.

අයිතිවාසිකම් උදෙසා කෙරෙන යුක්ති සහගත අරගල යටකර දමන සමාජයක් තුළ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සමාජගත කළේ ද කරන්නේ ද සාමාන්‍ය පීඩිත ජනතාව යමක් දිනා ගන්නේ නම් එය දිනාගත හැක්කේ සටනින්ම බවය. අද ද අප අත් දකින්නේ එකී සමාජ භාවිතාවයි. පෞද්ගලික විශ්ව විද්‍යාල මෙන්ම ‘අධ්‍යාපනය අයිතියක් වෙළෙඳ භාණ්ඩයක් නොවේ’ යන සටන් පාඨය පෙරදැරි කරගනිමින් මෙන්ම සයිටම් විරෝධී ජන මතයක් සාමාන්‍ය සමාජය වෙත ගෙන යමින් පීඩිත පන්තියේ දරුවන්ට අධ්‍යාපනයේ අයිතිය තවදුරටත් ලබාදීමට ඔවුන් සටන් වදියි. ඔවුන්ට ද පන්නර සැපයූවේ ඉතිහාසයේ ජීවිත පරිත්‍යාග කරමින් සටන් වැදුනු ශිෂ්‍ය ව්‍යාපාරයයි. ඔවුන් ඉතිහාසයක් පුරා ඔප්පු කළේ ද එකී සමාජ භාවිතාවයි.

ඉතිහාසයේ ඔවුන් දිවි පුදා කළ සටනේ ප‍්‍රතිඵල භුක්ති විඳින්නේ වර්තමාන ශිෂ්‍ය ප‍්‍රජාවයි. සටන් කිසිදා අවසන් නොවන බව මේ මොහොතේ ද ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය අපට නැවත නැවතත් පසක් කරනු ලබයි. ඔවුන් මෙන්ම ඉතිහාසයේ ද එම අරගලයන්ට නායකත්වය දුන් මිනිසුන් අපට දුන් පණිවිඩය එයයි. ඉතිහාසයේ ජීවිත පරිත්‍යාග කළවුන් සැමදා පීඩිත ජන හදවත් තුළත් අසාධාරණයට එරෙහිව සටන් වදින ශිෂ්‍ය ප‍්‍රජාව තුළත් ජීවත් වන්නේ එබැවිනි. සමාජයට ඔවුන් මිය ගියද තවමත් ඔවුන් අරගල භූමිය තුල රැුඳී සිටියි. අදත් ඔවුන්ගේ නාමයන් සටන් බිම තුළ නින්නාද දෙයි. දිනයකට පමණක් සීමා නොවන සටන් තුළ සැමදා සිටින ජනතා හදවත් තුළ තවමත් ජීවත් වන ඔවුන් මරා දැමිය හැකිය. එහෙත් පරාජය කළ නොහැකිය.

Save




Related News