தமிழ்
English
Contact
Saturday 7th October 2017    
විභාග අත්හිටවූ කිංස්වුඞ් සිසුන්ට සාධාරණය ඉටු කරනු – ඒකාබද්ධ ගුරු සේවා සංගමය « Lanka Views | Views of the truth

විභාග අත්හිටවූ කිංස්වුඞ් සිසුන්ට සාධාරණය ඉටු කරනු – ඒකාබද්ධ ගුරු සේවා සංගමය



වාර්ෂිකව අය කරනු ලබන රුපියල් 6000ක මුදලක් නොගෙවීම හේතුවෙන් කිංස්වුඩ් විදුහලේ සිසුන් සිය දෙනකුට වාර විභාගයට පෙනී සිටීමට ඉඩ නොදීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් එම සිසුන්ට සාධාරණය ඉටු කරන ලෙසත් ඒකාබද්ධ ගුරු සේවා සංගමය අවධාරණය කරයි. එම ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් විමල් පියතිස්ස මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව දැක්වේ.

එම නිවේදනය මෙසේය.

කිංස්වුඞ් විද්‍යාලයේ සිසුන් විසින් වාර්ෂිකව ගෙවිය යුතුයැයි කියන රුපියල් 6000ක මුදලක් නොගෙව්වා යැයි කියමින් සිසුන් 100 දෙනකුට මෙවර වාර විභාගයට පෙනී සිටීමට පාසල් ගුරුභවතුන් ඉඩ නොදීම පිළිබඳ ප‍්‍රවෘත්තියක් මුද්‍රිත මාධ්‍යවල පළ වී තිබිණි. මෙවන් අවස්ථාවක සිසුන්ට අයුක්තියක් නොවන අයුරින් ක‍්‍රියා කිරීමට වගබලා ගන්නා මෙන් විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින අතර මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කොට අදාළ සිසුන්ට සාධාරණය ඉටු කරන ලෙසද බල කර සිටිමු.

මෙය පාසල්වලින් මුදල් අය කිරීම සම්බන්ධව පළ වූ පළමු ප‍්‍රවෘත්තිය නොවූවා සේම එය අවසන් ප‍්‍රවෘත්තියද නොවනු ඇත. ගැටලූව ඇත්තේ ප‍්‍රවෘත්ති පිට ප‍්‍රවෘත්ති පළ වුවද අප බොහෝ දෙනා ඒවා කෙරෙහි නොදුටු නෙත්ව, නොඇසූ කන්ව, උකටලීව, නිෂ්ක‍්‍රීයව කල් යැවීමයි. විරුද්ධව හඬක් නඟන්නන්ද ඒවා කෙරෙහි විරුද්ධව හඬ නඟන්නේ වතාවත් ඉටු කරන්නා සේ මිස ඒවාට අනන්‍යව නොවේ. මේ නරුමවාදයෙන් සමාජය මුදා ගන්නේ කෙසේද?

ධනේෂ්වර රාජ්‍ය පාර්ශ්වයෙන් මේ සඳහා ජනප‍්‍රිය පිළිතුරක් සපයයි. එනම්, නොගෙවීමට හැකියාවක් නොමැති නම් ග‍්‍රාමසේවා නිලධාරීන් හරහා පාසල් පරිපාලනය දැනුවත් කරන ලෙසයි. අයවැය කාලයට ධනපති රාජ්‍ය පාර්ශ්වය මෙවන් බයිලා ගහන්නේ නැත. ඒ වෙනුවට ගයන බයිලාව වනුයේ, රජය ජනතාවගෙන් බදු අය කරන්නේ අධ්‍යාපනය සෞඛ්‍ය වැනි සමාජ ආරක්ෂණ සේවා සැපයීම සඳහා බවයි.

එහෙත් විභාග සඳහා, ක‍්‍රීඩා සඳහා, ආරක්ෂාව සඳහා, තීන්ත ආලේපය සඳහා ආදී වශයෙන් නහුතයක් ගාස්තු අය කරන බව දෙමාපියෝ දනිති. අලි මදිවට කොටි කීවා සේ ගුරු හිඟය, විෂය නිර්දේශය විශාලවීම ආදිය හේතුවෙන් පාසලෙන් ආවරණය නොවන විෂයන් ආවරණය කර ගැනීම සඳහා දෙමාපියන් උපකාරක පන්ති සඳහාද ගෙවිය යුතුය. ඒ සඳහාද විශාල මුදලක් වැය කිරීමට ඔවුන්ට සිදු වේ. ඒ පිළිබඳව දෙමාපියන් මැසිවිලි නඟන්නේ නම් ඒ මැසිවිලි සන්තර්පනය කර ගැනීම සඳහා පාසලෙන් අය කරන මුදල් සඳහා විධිමත් මුද්‍රිත රිසිට් පතක් ලබා දීමෙන් ධනපති රජය සිය භාරධූර වගකීම ඉෂ්ට කරයි.

විටෙක කබරගොයි තලගොයි කරන, විටෙක තලගොයි කබරගොයි කරන මේ ධනපතීන්ට කඬේ යන ඔස්තාර්ලාගේ තර්ක විතර්ක පිටු දැක විවේක බුද්ධියෙන් සිතිය යුතු කාලය එළඹ ඇතැයි අපගේ අදහසයි. එහෙයින් හුදු විලිලැජ්ජාවන් ඉවත දමා දේශපාලනිකව අපගේ ආර්ථික නොහැකියාව හෙළිදරව් කොට පාසල් සඳහා මුදල් ගෙවීම අත්හිටුවා අපගෙන් අය කර ගත් බදු මුදල් ඒ සඳහා වෙන් කරවීමට රජයට බල කර සිටිමු. ඒ සඳහා රජයට යම් නොහැකියාවක් ඇතැයි කියන්නේ නම්, බිලියන ගණන් වියදම් කොට මන්ත‍්‍රීවරුන්ට වාහන ගෙන්වීම වැනි රජයේ අනවශ්‍ය වියදම් කපා හැර ඒ සඳහා ක‍්‍රියාත්මක ආදර්ශ සැපයිය යුතු යැයි අපි කියා සිටිමු. ඒ හැර අන්මගක් අපට වටහා දෙන ලෙසද ඉල්ලා සිටිමු.

Save




Related News