தமிழ்
English
Contact
Tuesday 3rd October 2017    
විදේශ සේවා බලධාරින් ප්‍රමුඛතාව දෙන්නේ රැකියා ඒජන්සි අවශ්‍යතාවලට – FREE WOMEN! « Lanka Views | Views of the truth

විදේශ සේවා බලධාරින් ප්‍රමුඛතාව දෙන්නේ රැකියා ඒජන්සි අවශ්‍යතාවලට – FREE WOMEN!



විදේශ සේවා නියුක්ති කාර්යාංශ බලධාරින්, විදේශගතවන ශ්‍රමික කාන්තාවන්ගේ සුබසාධනය හා ආරක්ෂාව වෙනුවට ප්‍රමුඛතාව දෙන්නේ විදේශ රැකියා නියෝජිත ආයතනවල අවශ්‍යතා ඉටු කිරීමට බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය චෝදනා කරයි.

මෙතෙක් විදේශගතවන ශ්‍රමික කාන්තාවන් මිනිපෙට්ටවල පැමිණෙන සිදුවීම් හෝ ආපදාවන්ට මුහුණදී සිටිනවිට මැදිහත්වන ආකාරයත් නිසා ඒ බව පෙනී යන බව ඔවුහු පවසති. නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද (7) දින පැවැත්වූ ජනමාධ්‍ය සාකච්ඡාවකදී මේ අදහස් ප්‍රකාශ විය. එම ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න අදහස් දක්වමින් පැවසුවේ රැකියා සඳහා විදේශ ගත වෙන ලාංකික කාන්තා ශ්‍රමිකයන්ගේ වත්මන් ඛේදවාචකය ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශවන තත්වයට වඩා අතිශයින් බරපතළ බවයි. සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ හා උවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතියකට ලංකාවේ පාලකයන් 1996 අත්සන් කළද එම අයිතවාසිකම් වෙනුවෙන් මේ දක්වා ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදුකර නැති බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය චෝදනා කරයි.

මෙරට කම්කරුවන් මුහුණ දෙන නොයෙක් ගැටලු මෙන්ම විදෙස් රටක සේවයට යාම හේතුවෙන් අහිමිවන ජීවිත සහ ඔවුන්ට වූ වැටුප් අහිමිවීම, හාම්පුතුන්ගේ තාඩන පීඩන, ලිංගික අතවර පිළිබඳ වූ සිදුවීම්වල ප්‍රමාණය සීග්‍රයෙන් වර්ධනය වී ඇත. එහෙත් ඒ කිසිවක් ගණනකට නොගන්නා පාලකයන් ශ්‍රමිකයන්ගේ ජීවිත ඔවුන්ගේ ශාරීරික අවයව මෙන්ම ඔවුන්ගේ අයිතීන්, ජීවිතය ගැන ඇති අභිමානය හා ගෞරවය පවා කුණු කූඩයට දමා ඇති බව එහිදී ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පෙන්වා දුන්නාය. මැදපෙරදිග ඩිනාර්, රියාල් හමුවේ දුප්පතුන්ගේ ජීවිත වහල් තත්වයට ඇදදමා ඇත. මෙරට ආණ්ඩුව, විදේශ කටයුතු අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය හෝ අතරමැදි සේවා සපයමින් මිලියන ගණනක් උපයන ඒජන්සි ආයතනවල කිසිවෙක් කම්කරුවා වෙනුවෙන් කතා නොකරයි. ඒ වෙනුවට ඔවුන්ට උවමනා වන්නේ ලාංකික ස්ත්‍රිය ලාභ ශ්‍රමයට විකිනෙන විදෙස් වහල් සේවය පවත්වාගෙන යමින් එම ශ්‍රමිකයන් සූරාකෑම පමණකි. නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය පෙනී සිටින්නේ මෙකී ඛේදවාචකය සමාජගත කිරීම වෙනුවෙන් මෙන්ම විදේශ වහල් සේවය වෙනුවට සුරක්ෂිත රැකියා හිමිකර දියයුතුය යන අරගලය වෙනුවෙන් බවද නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සංවිධායිකාව අවධාරනය කළාය!




Related News