Posted on 04.16.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පසුගියදා එක්සත් ජනපදය විසින් සිරියානු ගුවන් සීමා උල්ලංඝනය කරමින් එල්ල කළ මිසයිල ප‍්‍රහාරයත්, ඇෆ්ගනිස්ථාන හා පකිස්තාන දේශසීමා අසලට එල්ල කළ බෝම්බ ප‍්‍රහාරයන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ලාංකික අධිරාජ්‍ය විරෝධී වාමාංශික පක්ෂ හා වාම කණ්ඩායම් සමග එක්ව තරයේ හෙළා දකී. සිරියාව දැවැන්ත විනාශයක් කරා ගෙනයන අධිරාජ්‍යවාදී නේටෝ බල එකමුතුව ලක්ෂ ගණනක් ජනයා විවිධ රටවල අවතැන් කර අසරණ කරවා ඇත.
එක්සත් ජනපද රජය මෙම ප‍්‍රහාරය සාධාරනිකකරණය කළේ අන්තවාදී අයි.එස්. සටන්කාමීන් 36ක් මෙම ප‍්‍රහාරයෙන් මියගිය බව පවසමිනි. ඇෆ්ගනිස්ථාන රජයේ සහාය ඇතිව මෙසේ ඇෆ්ගනිස්ථානය තුළ මිනී මැරීමට එක්සත් ජනපදයට හැකිව තිබෙන ලෝක යථාර්ථය වන්නේ කිසිවකු එයට එරෙහි නොවීමය. එහෙත් මේ වනවිට උතුරු කොරියාව සිය යුද බලය ප‍්‍රදර්ශනය කරමින් එක්සත් ජනපදයට අභියෝග කරමින් සිටී. එක්සත් ජනපද ගුවන් ප‍්‍රහාරක යානා සහිත නාවික හමුදා ප‍්‍රහාරක යාත‍්‍රා කොරියානු අර්ධද්වීපය ආසන්නයට යවමින් මෙවැනි තත්වයක් ඇති කරන්නට එක්සත් ජනපදය විසින්ම උතුරු කොරියාවට යුද අභියෝගයක් සිදුකර ඇත. අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ නායකත්වයෙන් මේ වනවිට සිදුකරමින් සිටින්නේ ලෝකය යුද උමතුවක් කරා ඇද දැමීම බව පැහැදිලි වෙමින් තිබේ.
මේ ආකාරයට දැවැන්ත අවි සහ විනාශකාරී අවි තරගයක් ආරම්භ කරමින් ඔවුන් සැරසෙන්නේ තම යුද බලය උරගා බලමින් ලෝකයත් මානව ප‍්‍රජාවත් මහා ඛේදවාචකයක් කරා නැවත ඇද දැමීමටය. දැනටමත් ලෝකයේ පීඩිත ජනයා, කුසගින්නේ හා රෝග පීඩාවලින් නිකරුනේ මිය යන්නේ එම මානව ගැටලූ විසඳන්නට හැකි තරම් ධනය, අමුද්‍රව්‍ය සම්පත් හා පුහුණු මානව සම්පත තිබියදීය. පළමුවැනි හා දෙවැනි ලෝක යුද්ධ මෙන්ම මිනිස් ඉතිහාසයේ පාලකයන්ගේ බල උවමනාවන් වෙනුවෙන් ජිවිත පිදූ පීඩිතයන් හෙටත් සොල්දාදුවන් ලෙස සිය සහෝදර ජනයා සංහාරය කිරීමට යනු ඇත්තේ අධිරාජ්‍යවාදයේ මෙම යුද උම්මත්තකභාවය නිසාය.
මෙම යුද උමතුව වැළැක්වීමට ලෝකය පුරා සියලූ වාම බලවේග හා මානවවාදී ජනතා බලවේගයන් එක මිටකට ඒකරාශි විය යුතු බව අපි අවධාරණය කරමු. ත‍්‍රස්තවාදයට එරෙහිවීමේ නාමයෙන් මෙසේ දිනපතා සාමාන්‍යකරණය කරනු ලබන ම්ලේච්ඡ යුද විනාශයන් තවදුරටත් ඉවසා නොසිට එක්සත් ජනපදය ඇතුළු යුද උම්මත්තක රාජ්‍යයන්ට එරෙහිව හැකි සෑම ආකාරයකින්ම ඒකරාශී වී විරෝධය දක්වන මෙන් ලාංකික පීඩිත ජනතාවටත් ලෝකවාසි සමස්ත ජනතාවටත් අපි ආයාචනය කරමු.
දේශපාලන මණ්ඩලය
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2017. 04. 16