தமிழ்
English
Contact
Saturday 9th December 2017    
පෞද්ගලිකකරණයට හා මර්දනයට එරෙහිව පෙළ ගැසෙමු – කම්කරු අරගල මධ්‍යස්ථානය « Lanka Views | Views of the truth

පෞද්ගලිකකරණයට හා මර්දනයට එරෙහිව පෙළ ගැසෙමු – කම්කරු අරගල මධ්‍යස්ථානය



සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන ලෙස බල කරමින් විරෝධතා පැවැත්වූ සිසුන්ට එල්ල කළ ම්ලේච්ඡ ප‍්‍රහාරය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව කම්කරු අරගල මධ්‍යස්ථානය කියයි. නිවේදනයක් නිකුත් කරන එම මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව අවධාරණය කරන්නේ, පෞද්ගලිකකරණයට, අයිතිවාසිකම් හා සහන කප්පාදුවට සහ මර්දනයට එරෙහිව සියලූම බලවේග එක් විය යුතු බවයි.

සයිටම් උපාධි කඩය අහෝසි කරන ලෙසත් අධ්‍යාපනය පෞද්ගලිකකරණය නතර කරන ලෙසත් සරසවි බඳවා ගැනීම් ඉහළ නංවන ලෙසත් බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පැවැත්වූ විරෝධතා පා ගමනට පොලිසිය යොදවා ආණ්ඩුව විසින් ම්ලේච්ඡු ප‍්‍රහාරයක් එල්ල කර තිබේ. සිසුන් කිහිප දෙනකුට තුවාල සිදුව ඇති අතර තවත් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

රජයේ ප‍්‍රතිපත්තිය වී තිබෙන්නේ පෞද්ගලිකකරණය හා කප්පාදුවයි. අධ්‍යාපනය, සෞඛ්‍ය හා ප‍්‍රවාහනය මෙන්ම රාජ්‍ය ආයතන හා සම්පත් සියල්ලම ජාවාරම්කරුවන්ගේ ලාභය වෙනුවෙන් විකුණා දැමීමට සූදානම් කර තිබේ. ඒ අතර විශ‍්‍රාම වැටුප කප්පාදු කර ඇති අතර සේවක අර්ථසාධක අරමුදල මත අලූත් බදු පනවමින් එහි ප‍්‍රතිලාභ කප්පාදු කිරීමට උත්සාහ ගනිමින් සිටී. කම්කරු නීති සංශෝධනය කරමින් වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගනිමින් සිටී.

මෙම ජනතා ද්‍රෝහී වැඩපිළිවෙළට එරෙහිව විරෝධය පළ කරන විට අධිකරණ නියෝග, තර්ජනය කිරීම්, පොලිස් ප‍්‍රහාර ආදිය මගින් එම විරෝධතා මර්දනය කිරීමට උත්සාහ කරයි. මෑත කාලයේ වෘත්තීය ක‍්‍රියාමාර්ග රැුසකට එරෙහිවද ආණ්ඩුව අනුමගමනය කළේ මෙම මර්දනකාරී පිළිවෙතයි. ශිෂ්‍ය පාගමනට එල්ල කළ ම්ලේච්ඡ ප‍්‍රහාරයෙන් පෙනෙන්නේ ආණ්ඩුවේ එම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පිළිවෙත වෙනස් කිරීමට කිසිදු සූදානමක් නැතිවා පමණක් නොව එය තවදුරටත් පවත්වාගෙන යාම ආණ්ඩුවේ අරමුණ බවයි.

මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පිළිවෙත හකුළා ගන්නා ලෙස සියලූම වෘත්තීය සමිති ඇතුළු වැඩකරන ජනතා බලවේග එක්ව රජයට බල කළ යුතු යැයි අපි විශ්වාස කරමු. එසේ නොකරන්නේ නම් අද ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව එසවුණු ප‍්‍රහාරය හෙට වැඩකරන ජනතාවට එරෙහිව එල්ලවීම වැළැක්විය නොහැකිය.

ශිෂ්‍ය පාගමනට එල්ල කරන ලද ම්ලේච්ඡු ප‍්‍රහාරය පිළිකුළෙන් යුතුව හෙළා දකින කම්කරු අරගල මධ්‍යස්ථානය පෞද්ගලිකකරණයට, කප්පාදුවට හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හැසිරීමට එරෙහිව එක් වන ලෙස සියලූම වෘත්තීය සමිතිවලින් සහ වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටී.




Related News