‘පැරිස් බලාපොරොත්තුව‘ සුන්වන ලකුණු
Posted on 08.03.2016 by Chandana Sirimalwatte in විශේෂාංග with 0 Comments
අන්තර්ජාතික මට්ටමින් හානිකර වෙමින් පවතින දේශගුණ විපර්යාස සඳහා පිළියම් සෙවීමට ලොවපුරා විදවතුන්, පරිසරවේදීන් මෙන්ම සාමාන්‍ය ජනයා අතර උනන්දුවක් අැතිවී තිබේ. ඉකුත් වසරේ ප්‍රංශයේ පැරිස් නගරයට රැස්වූ ලෝකයේ විවිධ රටවල නියෝජිතයෝ එක්තරා ගිවිසුමකට එළඹුණහ. එසේ රැස් වූ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ 21 වැනි සැසි වාරයේදී ඇති කරගන්නා ලද ‘පැරිස් දේශගුණ ගිවිසුම‘ එනම්, පැරිස් බලාපොරොත්තුවද ගිලිහී යනු ඇතිද යන සැකය දැන් මතුව තිබේ. මේ සටහන ඒ සම්බන්ධයෙනි.
………………………………………………………………………………………………
දේශගුණ විපර්යාස ඇතිවීමට හේතුවී ඇති හරිතාගාර වායු විමෝචනය ලොව පුරා විවිධ රටවල් විවිධ පරිමාණයෙන් සිදු කරනු ලැබේ. සංවර්ධිත රටවල් මහා පරිමාණයෙන් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් සාපේක්ෂව අඩු වශයෙන් හරිතාගාර වායු විමෝචනය සිදුකරයි. නමුත් දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම් එල්ලවීමේදී ඒවා හරිතාගාර වායු විමෝචනය මහා පරිමාණයෙන් සිදුකරන සංවර්ධිත රටවලට බරපතල වශයෙන් එල්ල වන්නේ නැත. හරිතාගාර වායු විමෝචනය අවම වශයෙන් සිදුකරන සංවර්ධනය වෙමින් පවතින රටවලට සහනයක් ලැබෙන්නේද නැත. දේශගුණ විපර්යාස වලට එරෙහිව සිදුකරන සටන ගෝලීය මට්ටමෙන් සිදුවිය යුත්තේ එබැවිනි. ඒ ආකාරයෙන් අන්තර්ජාතික මටටමින් දේශගුණ විපර්යාසය වලක්වා ගැනීම සඳහා දැනට සකස් කරගෙන ඇති බලාපොරොත්තු ඇතිකර ගත හැකි එකම මෙවළම ලෙස සැලකෙන්නේ ඉකුත් වසරේ ප්‍රංශයේ පැරිස් නුවරදී එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ (United Nations Framework Convention on Climate Change – UNFCCC) 21 වැනි සැසි වාරයේදී ඇති කරගන්නා ලද ‘පැරිස් දේශගුණ ගිවිසුම‘ පමණි. කෙසේ නමුත් මේ වන විට සිදුව ඇති වර්ධනයන් නිසා එම පැරිස් බලාපොරොත්තුව ද ගිලිහී යනු ඇතිද යන සැකය මතුවී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය ඇතිකර ගත්තේ 1994 වසරේදී ය. ඒ සඳහා එක්සත් ජාතීන්ට අයත් රටවල් 198ක් ඒකාබද්ධවී ඇත. වසරක් පාසා එම සම්මුතියේ පාර්ශවකරුවන් විසින් ලොව විවිධ ස්ථානවලදී එක්රැස්වී දේශගුණ විපර්යාස වලට මුහුණදීම පිළිබඳව සාකච්ඡා වට පවත්වා ඇතත් එම සාකච්ඡා සියල්ල අවසන්වුනේ ප්‍රතිපල රහිතවය. මේ දක්වා එවැනි සමුළු 21ක් පවත්වා ඇති අතර පැරිසියේදී පැවැත්වුනේ එම 21 වැනි සැසි වාරයයි. එදා මෙදා තුර යම්කිසි සාධනීය ජයග්‍රහණයක් අත්කරගෙන ඇත්තේ 1997 වසරේ කියෝතෝ සමුළුවේදී වන අතර ඒ කියෝතෝ සම්මුතිය (Kyoto Protocol) ය.
ඉන්පසු ඉකුත් වසරේදී ඇතිකරගත් පැරිස් දේශගුණ ගිවිසුම 2020 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර එය මිහිකත වැසියන්ට තම අනාගතය පිළිබඳව තබාගත හැකි අවසන් බලාපොරොත්තුව ය. මෙම ගිවිසුම පසුගිය අප්‍රේල් මස 22 වැනි දින අත්සන් කිරීම සඳහා විවෘත කරන ලද අතර මේ වන විට රටවල් 178ක් ඊට අත්සන් තබා තිබුණි. ඒ අතරට ලෝකයේ බොහෝ රටවල් මෙන්ම යුරෝපා සංගමය ද අයත් ය. අත්සන් කිරීමෙන් අනතුරුව මෙම ගිවිසුම බලාත්මක තත්ත්වයට පත් වීම ආරම්භ කිරීම සඳහා ලෝකයේ සමස්‌ත හරිතාගාර වායු විමෝචනයන්ගෙන් 55%ක් සඳහා වගකිවයුතු හා ලෝක ජනගහනයෙන් 55% ක් ජීවත්වන රටවල් එය අපරානුමත (Ratification) කළ යුතුය. නොඑසේ නම් අන්තර්ජාතික සම්මුතිය එක් එක් රටවල් තුල ව්‍යවස්ථාදායකය මගින් සම්මත කරගත යුතුය.
ගැටළුව පැන නගින්නේ එතැනදීය. ලොව පුරා බොහෝ රටවල් ගිවිසුමට අත්සන් තැබීමට දැක්වූ උනන්දුව එය තම රට තුල අපරානුමත කිරීමට නොදැක්වීම එම ගැටළුවයි. මේ දක්වා ගිවිසුම අපරානුමත කර ඇත්තේ රටවල් 19ක් පමණි. එසේ අපරානුමත කර ඇත්තේ ද හරිතාගාර වායු විමෝචන ඉතා අල්ප ප්‍රමාණයකට දායකවන කුඩා රටවල් ය. එම රටවල මුළු හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ගෝලීය හරිතාගාර වායු විමෝචනයන් ගෙන් 0.18%ක් පමණ අංශු මාත්‍රයකි. තරමක් හෝ සතුටුදායක ප්‍රවෘත්තියක් වූයේ ප්‍රංශය ගිවිසුම අපරානුමත කිරීමය. ඒ අනුව ගිවිසුම අපරානුමත කළ දෙවැනි යුරෝපා රට හා G7 කණ්‌ඩාමේ පළමු රට බවට ප්‍රංශය පත් විය.
පැරිස් දේශගුණ ගිවිසුම ඉක්‌මනින් මහා පොළොවේ යථාර්තයක් බවට පත් වීම සඳහා වැඩි විමෝචන ප්‍රමාණයක් නිකුත් කරන රටවල් එය අපරානුමත කිරීම අත්‍යාවශ්‍ය ය. නමුත් ලෝකයේ විශාලතම හරිතාගාර වායු විමෝචකයන් දසදෙනාම මේ දක්වා ගිවිසුම අමරානුමත කර නැත. ලොව වැඩිම හරිතාගාර වායු විමෝචනයකට දායකවන චීනය එළඹෙන සැප්තැම්බර් මාසයට ප්‍රථම ගිවිසුම අපරානුමත කිරීමට අපේක්‌ෂා කරන බව ප්‍රකාශකර ඇත. එසේම තෙවන විශාලතම හරිතාගාර වායු විමොචකයා වන ඉන්දියාව ද මෙම වසර ඇතුළත ගිවිසුම අපරානුමත කරන බව මෝදි අග්‍රාමාත්‍යවරයා නොබෝදා සිදු කළ ඇමෙරිකානු සංචාරය අතරතුර දී පවසා තිබුණි. ඇමෙරිකාව ද මෙම වසර තුලදී පැරිස් ගිවිසුම අපරානුමත කරන බව ප්‍රකාශ වී ඇත.
ඒ අනුව බලාපොරොත්තුව යම් තරමකින් හෝ තව දුරටත් රඳවා ගත හැකි වෙතැයි සිතුනද බ්‍රිතාන්‍යයේ හා ජර්මනියේ ක්‍රියාකලාපය ඊට බරපතල බාධා කිරීමක් සිදුකරනු ඇති බව පැහැදිළිය. බ්‍රිතාන්‍ය හා ජර්මනිය පැරිස් දේශගුණ ගිවිසුම පවා දී ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පසුගියදා චෝදනා කළේ එබැවිනි. ඊට ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ එම රටවල් විසින් පොසිල ඉන්දන කර්මාන්තය සඳහා සහනාධාර ලබා දීමට කටයුතු කිරීමයි. එය ඉතා පැහැදිළිවම පැරිස් දේශගුණ ගිවිසුමට පස්ස ගැසීමක් බව දෙවරක් සඳහන් කළයුතු නැත.
බ්‍රිතාන්‍යය ඛනිජතෙල් හා ස්වභාවික වායු කර්මාන්තය සඳහා වසර 2020 දක්වා බදු කපා හැරීමේ පිළිවෙතකට අවතීර්ණවී ඇති අතර ඊට සමගාමීව පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය හා බලශක්ති කාර්යක්ෂමතාවය සම්බන්ධ ක්‍රියාමාර්ග වෙනුවෙන් දැක්වූ සහය ද කප්පාදු කිරීමට කටයුතු කර ඇත. මෙතෙක් කලක් දේශගුණ විපර්යාසයට එරෙහිව සිදුකළ අරගලයේ ප්‍රධාන කොටස් කරුවෙකු වූ බ්‍රිතාන්‍යය මේ ආකාරයෙන් පසුගාමීත්වයක් දැක්වීම ඉතා කණගාටුදායක තත්ත්වයක් වන අතර අභිනවයෙන් පත්වූ බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ ගේ ආණ්ඩුව එරට බලශක්තිය හා දේශගුණ විපර්යාසය විෂයයන් භාර රේඛීය දෙපාර්තමේන්තුව අහෝසි කිරීමට කටයුතු කිරීමද බොහෝ දෙනාගේ කතා බහට ලක්විය. දේශගුණ විපර්යාසය ආපස්සට හැරවීම සඳහා යුරෝපා සංගමය කාලාන්තරයක් තිස්සේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කල අතර ඒ සඳහා බ්‍රිතාන්‍යයෙන් ලැබුණු නායකත්වය ප්‍රශංසනීය ය. නමුත් වර්තමානයේ බ්‍රිතාන්‍ය දක්වන පසුගාමී පිළිවෙත එරට යුරෝපා සංගමයෙන් ඉවත් වුවද එහි සෙසු සාමාජික රටවලට ද නරක පූර්වාදර්ශයක් විය හැකිය. ඒ අතර ජර්මනිය ද ගල්අඟුරු බලශක්තිය සඳහා වන්දි ලබා දීමට කටයුතු කරමින් පැරිස් එකගතාවයනට පස්ස ගැසීම ප්‍රශ්නය තව දුරටත් බරපතල කර ඇති අතර මෙම වසර තුලදී ගිවිසුම අපරානුමත කරන බව ප්‍රකාශ කර ඇති ඇමරිකාවේ 2016 ජනාධිපතිවරණ සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත්වී සිටින අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් බලයට පත්වුවහොත් පැරිස් ගිවිසුම ලිහාදමන බව ප්‍රකාශ කිරීම බරපතල කුකුසක් ඇතිවීමට මග පාදා ඇත. ගෝලීය දේශපාලනයේ බල අරගල පදනම් කරගත් මෙම කඹ ඇදිල්ල අලුත් දෙයක් නොවන නමුත් මෙවර හෝ ඊට තිත තැබීමට නොහැකි වුව හොත් තිත තැබීමට සිදුවන්නේ මිහිමත වෙසෙන සියලුම ජීවීන්ගේ ජීවිත වලට බවනම් පැහැදිළිය.
මේ අතර එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බැන් කි මූන් විසින් තම රටවල පැරිස් ගිවිසුම අපරානුමත ක්‍රියාවලීන් කඩිනම් කිරීම සඳහා ලෝක නායකයන් උනන්දු කරවීම පිණිස නැවතත් රැස්වීමකට ආරාධනා කර ඇති අතර එය එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතය. කෙසේ නමුත් මේ ලංවෙමින්, ඈත්වෙමින් යළි ලංවෙමින් ඇත්තේ ඔබගේත් මගෙත් අනාගතය පිළිබඳ එකම බලාපොරොත්තුව ය.
සටහන – සුපුන් ළහිරු ප්‍රකාශ්, ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය
Related News