தமிழ்
English
Contact
Friday 28th July 2017    
ආපදාවලින් විපතට පත්වූවන් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ එක් වෙති! « Lanka Views | Views of the truth

ආපදාවලින් විපතට පත්වූවන් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ එක් වෙති!




මෑතදී ලංකාවේ ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත් වූවන්ට ආධාර පිනිස  ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වසන ලාංකිකයන් සහ ඕස්ට්‍රේලියානුවන් ජූලි මස 2 වැනිදා පළමු වතාවට එක් වී අරමුදල් වැඩසටහනකට දායක වූ බව වාර්තා වේ.

මේ වන විට මෙල්බර්න් නගරයේ ක්‍රියාකාරී ලාංකිකයන්ගේ සංවිධාන කිහිපයක මැදිහත්වීමෙන් මෙම වැඩසටහන සංවිධානය විය. එහිදී ඩරබින් ජනවාර්ගික ප්‍රජා මණ්ඩලය, මානව අයිතීන් සහ සමානාත්මතාවය සඳහා වූ ව්‍යාපාරය, ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතාවය, ඔස්ට්‍රේලියාවේ එක්සත් ශ්‍රී ලංකා මුස්ලිම් සංවිධානය, මාලිමා සංසදය, සම අයිතිය ව‍්‍යාපාරය සහ ශ්‍රී ලංකා ආරාධනා සංවිධානය දායකත්වය දැක්වූහ. විවිධ සංවිධානවලින් හා පුද්ගලයන් ලෙස එක්රැස් කළ ආධාර එකතු කිරීමේ අවස්ථාවක්, සුහද හමුවක්, භෝජන සංග්‍රහයක් සහ පසුව මෙම අවස්ථාව ලාංකික සංස්කෘතිකාංග සහිත සංස්කෘතික සන්ධ්‍යවකින්ද සමන්විත විය.

මෙසේ රැස් කරන ලද අරමුදල් දකුණු පළාත් සභාව විසින් පාලනය කරනු ලබන වඩාත්ම විපතට පත්ව ඇති රජයේ පාසලකට සිදුවී තිබෙන ඇතැම් හානි ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඉක්මණින් ලබා දීමට කටයුතු කරන බව සංවිදායකයෝ ප්‍රකාශ කරති. ඩරබින් නගර සභාව මෙම අවස්ථාව සඳහා නොමිලේ පහසුකම් ලබා දීමට කටයුතු කළ බව අරමුදල රැස් කිරීමේ සම්බන්ධීකරණ කමිටුව පවසයි.

ශ්‍රී ලංකාවේ අනාගත ඉරණම වෙනස් කිරීම සඳහා යොදා ගත හැකි බිම් මට්ටමේ ප්‍රවේශයක් පිළිබඳව ආදර්ශයක් මෙම සාමූහික ප්‍රයත්නයෙන් ලැබෙනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂාව පළ කරති. එසේම අනෙක් ඔස්ට්‍රේලියානු කලාප රාජ්‍යයන් සහ වෙනත් රටවල ජීවත් වෙන විප්‍රවාසික ලාංකික ජන කොටස් වෙත මෙන්ම, සාමයෙන් සෞභාග්‍යයෙන් සහ සහජීවනයෙන් වාසය කළ හැකි ආකාරයේ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට අත්‍යවශ්‍ය කර තිබෙන ශ්‍රී ලංකාවේ ජන කොටස් වෙත ද මෙයින් ආදර්ශයක් සපයනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති.

සේයා රූ සහපුවත් මූලාශ්‍රය  – ලයනල් බෝපගේ (අරමුදල රැස් කිරීමේ සම්බන්ධීකරණ කමිටුව)

Save



Related News