ආණ්ඩුවට පක්ෂ වෛද්‍ය සංගමයක් බිහිකිරීමේ සාකච්ඡාව සෞඛ්‍ය ඇමතිගේ වැඩක් – GMOA
Posted on 07.17.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුවට හිතවත් ප්‍රභූවරයකුගේ සම්බන්ධීකරණයෙන් වෛද්‍යවරුන්ගේ නව වෘත්තීය සමිතියක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් වෙමින් තිබෙන බවට විශ්වාස කටයුතු තොරතුරක් ලැබී තිබේ.
වෛද්‍ය වෘත්තියේ ඒකාධිකාරි බලයක් සහිතව සිටින්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය බවත් ඒ නිසා ආණ්ඩුවට ඔවුන්ගේ ඉල්ලීම්වලට යට වන්නට සිදුව තත්වයක් ඇතිවන බවට පසුගිය වෛද්‍ය වර්ජන කාලයේ ආණ්ඩුවේ ප්‍රබලයන් අතර අදහස් හුවමාරුවක් සිදුව තිබේ. එම තත්වය වෙනස් කිරිමට නම් ආණ්ඩුවට පක්ෂපාති වෛද්‍යවරු එක් කරමින් වෘත්තිය සමිතියක් ආරම්භ කළ යුතු බවට එවැනි ප්‍රධාන පෙළේ වෛද්‍යවරුන්ට දැනුම් දී ඔවුන් සමග ඉහත කී ප්‍රභූවරයා දින කිහිපයක් පෞද්ගලික මට්ටමෙන් සාකච්ඡා පවත්වා තිබේ. සයිටම් විරෝධය සදහා ශිෂ්‍ය ව්‍යාපාරයේ මැදිහත්වීම ආණ්ඩුවට බලපෑම් සහගත නොවූ බවත් එවැනි බලපෑමක් කරන්නට වෛද්‍ය සංගමය සමත් වූ බවත් පෙන්වා දෙමින් ආණ්ඩුවේ මෙම ක්‍රියාදාමයට සයිටම් ආයතනයට පක්ෂ ඇමතිවරු සහයෝගය දක්වා තිබේ.
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න දිගින් දිගටම රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සමග සාකච්චා කිරීම මගහැර යමින් සිටියදී ජනාධිපතිවරයා විසින් සිදුකළ රහසිගත සාකච්චාව නිසා තත්වය වෙනස් අතකට පෙරළුනි. එහෙත් මේ නිසා තමන් හෑල්ලුවට ලක්ව ඇති බව සෞඛ්‍ය ඇමැතිවරයා තම සමීපයන්ට පවසා තිබේ. කෙසේවෙතත් වෛද්‍ය ක්ෂේත්‍රයට නව වෘත්තිය සංගමයක් ඇතිකිරීම පසුපස දේශපාලන හස්තයක් ඇති බව පැහැදිලිය.
මේ අතර අද(17) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැතිවරයාට ලිපියක් යවමින් දන්වා සිටියේ වෛද්‍ය වෘත්තිකයන් වෙනත් වෘත්තිය සංගමයකට එක්කරමින් වෛද්‍යවරු බේද කිරීමට වැඩපිළිවෙළක් සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
වෘත්තීයමය වශයෙන් යම් ගරුත්වයක් සහිත වෛද්‍යවරුන් අතර එම තත්වය වෙනස් කරමින් ඇතිකරන්නට යන වැඩපිලිවෙළක් නිසා බෙදීමක් ඇතිකර එයින් දේශපාලන වාසි ලබන්නට ඇමතිවරයා කටයුතු කරමින් සිටින බවද එම සංගමය අගමැතිවරයාට දැනුම් දී ඇත. එසේම මේ අවස්ථාවේ සාකච්ඡාමය මැදිහත්වීමකින් සයිටම් ආයතනය සම්බන්ධ අර්බුදයට විසඳුමක් වෙනුවෙන් ඇතිකරගත් එකගතා කඩාකප්පල්වීමේ අවදානමක් තිබෙන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැතිවරයාට අනතුරු අගවා තිබේ.
Related News