අවුරුදු දෙකයි මාස 4ක් ගියා – කිසිම සුබදායක දෙයක් වෙලා නෑ! – එ. ජා. මානව හිමිකම් නියෝජිතයා
Posted on 07.15.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
දසක තුනක යුද්ධයේදී සහ ඉන් පසු කාලයේදී සිදු වූ දරුණු මානව හිමිකම් උල්ලංඝණයවීම් සම්බන්ධයෙන් රජය මෙතෙක් සැලකිය යුතු මට්ටමේ කිසිවක් ඉටුකර නැතැයි මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් පවසයි.
ලංකා රජයේ ආරාධනාව අනුව මෙරට සිදු කළ පස්දින නිල සංචාරයක් අවසන් කරමින් කොළඹ 7 පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු එම අදහස් පළ කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ලබා දුන් වසර දෙකක දිගුවෙන් මාස හතරක් ගෙවී ගොස් තිබුණ ද කවුන්සිලය හමුවේ ඉටු කිරීමට පොරොන්දු වූ ප්‍රධාන අරමුණු ළඟා කරගැනීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ඉතාමත් පහළ මට්ටමක පවතින බවත් ඇතැම් අවස්ථාවලදී එම ඉලක්කවලට ගමන් කරන්නට අරමුණක් ඇති බවක් පවා නොපෙනෙන බව ද හෙතෙම කීය. එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට යෝජිත නව ත්‍රස්ත විරෝධී පනතක් සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ගේ, පාර්ලිමේන්තුවේ සහ මහජන උපදෙස් හා යෝජනා ලබා නොගැනීම කනගාටුදායක තත්වයක් බව ද ඔහු කීවේය.
කෙසේවෙතත්, ලංකාවේ සිදුවූ මානව හිමිකම් අපරාධ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම තීරණය වන්නේ ලබාදුන් කාලසීමාව අවසානයේදී බව පැවැසූ බෙන් එමර්සන් සත්‍ය ප්‍රගතියක් අත්පත් කරගැනීම සඳහා ලංකාව තුළ සංක්‍රාන්ති යුක්තියක් ස්ථාපිත කිරීම සඳහා කිසිදු පියවරක් ගෙන නැතැයි ද කීය. දීර්ඝ කාලීන සාමයක් උදා කරගැනීමට සහ යුද්ධයට පසුබිම් වූ අර්බුදයට විසඳුමක් දීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ හා ක්‍රියාවලියට බාධාකාරීවන ආණ්ඩුව තුළම සිටින ඇතැම් කොටස්වලට ඉඩ නොදීමට ලංකා රජය හා ජනතාව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද එක්සත් ජාතින්ගේ නියෝජිතයා ප්‍රකාශ කළේය.
ඔහු විසින් ඉදිරිපත් කළ වාර්තාවක් එක්සත් ජාතින්ගේ ලංකා කාර්යාලයේ වෙබ් අඩවියේ පළ වී තිබේ.
Related News