අගරදගුරු සම්බන්ධ නෑ, ඒක වැරදි වැටහීමක් – චන්ද්‍රන් රත්නම්
Posted on 05.05.2017 by Chandana Sirimalwatte in විශේෂාංග with 0 Comments
‘අනුරාගිනි‘ හෙවත් According to Mathew චිත්‍රපටය තහනම් කරන ලෙස ඉල්ලා අගරදගුරු මැල්කම් රංජිත් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇතැයි පළවූ පුවත වැරදි වැටහීමක් බව චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් අද ‘ලංකාවීව්ස්‘ වෙත ප්‍රකාශ කළේය.
ගොතේ ආයතනයේදී අනුරාගිනි චිත්‍රපටය රසිකයන් විසින් නැරඹූ පසුව කළ සංවාදයේදී අදහස් දක්වමින් චන්ද්‍රන් රත්නම් කළ ප්‍රකාශයක් මත අප විිසින් එම පුවත පළ කළ අතර එය එසේ නොවන බවත් තමා කළ ප්‍රකාශය වැරදි ලෙස වාර්තාවීමක් ලෙසත් රත්නම් මහතා පවසයි.
‘ලංකාවීව්ස්‘ පුවත පිළිබදවත් සිනමා පටය පිළිබද හටගෙන ඇති ආන්දෝලනාත්මක තත්වය සම්බන්ධවත් ‘ලංකාවීව්ස්‘ ඔහු සමග කළ සංවාදය මෙසේ පළ කරමු.
ඔබ විසින් නිර්මානය කළ According to Mathew චිත්‍රපටය නරඹා රසිකයන් සමග කළ සංවාදයේදි ඔබ ප්‍රකාශ කළ අදහසක් අප පුවතක් ලෙස පළ කළා. කතෝලික පල්ලිය නියෝජනය කරමින් කාදිනල්වරයා විසින් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇති බව ඔබට දැනගන්න ලැබුණූ බව ඔබ එහිදී ප්‍රකාශ කළා. සිනමා කෘතිය තහනම් කිරීමට ඉල්ලීමක් ඉදිරිපත් කළ බවයි ඔබ කීවේ.
මම හිතන්නෙ ඒක මා කළ ප්‍රකාශය වැරදි ලෙස වටහා ගැනීමක් කියලයි. කාදිනල් විසින් කිසිම ලිපියක් ලියලා නෑ. නමුත් එතැනදි යම්කිසි ලිපියක් සම්බන්ධව අදහස් පළ වුණා. මා කිව්වෙ මේක නවත්වන්න කියලා ජනාධිපතිට ලිව්වත් මම පසුබහින්න සූදානම් නෑ කියලා.
නමුත් ඔබ කිව්වා ඔබට ආරංචියක් තියෙනවා එවැනි ලිපියකින් කළ ඉල්ලීමක් පිළීබදව…
ඒක තනිකරම වැරදි වටහාගැනීමක්. මට කියන්න ඕන වුණේ එහෙම ඉල්ලීමක් කළත් මට ප්‍රශ්නයක් නෑ කියලයි.
ඔබ කියන්නෙ එවැනි තහනමක් කලොත් ඔබට ඒක වැදගත් නෑ කියලද?
ලංකාවෙ ප්‍රදර්ශනය තහනම් කළොත් ප්‍රේක්ෂකයන්ට බලන්න ඒ තහනම ඉවත්කරගන්න අරගලයක් කරන්න වෙනවා.
කතෝලික පල්ලිය පැත්තෙන් මෙම චිත්‍රපටයට කිසිදු බලපෑමක් නැති වෙයි කියලා ඔබ හිතනවද?
දැනටමත් පල්ලිය වෙනුවෙන් ජනමාධ්‍ය වෙත ප්‍රකාශයක් යවා තිබෙනවා. ඒකෙ සදහන් වෙන්නෙ මෙම චිත්‍රපටයට කතෝලික පල්ලියේ කිසිම සම්බන්ධයක් නෑ කියලයි. මම විශේෂයෙන් කියන්න ඕන, මේ චිත්‍රපටය පල්ලිය ගැන කතාවක්වත් ආගම ගැන කරන විවේචනයක්වත් නෙවෙයි. මේ ඝාතන දෙකකට වැරදිකරු වූ පුද්ගලයෙක් ගැන කතාවක්. ඒ තැනැත්තා පූජකයෙක්. වෙනත් ආගමක පූජකවරයෙකු ගැනත් මේ වගේ සිදුවීමක් තියෙන්න පුලුවන්, චිත්‍රපටයක් හැදෙන්නත් පුලුවන්. නමුත් මම හැදුවෙ මේ රටේ සිදුවුණු ඇත්ත සිදුවීමක් ගැන චිත්‍රපටයක්, නඩුවාර්තා ඇසුරෙන්. ඒ කතාවෙ ඉන්න චරිතය ද්විත්ව ඝාතනවලට වැරදිකරු ලෙස දණ්ඩනයට ලක්වු පූජකයෙක්. වෙනත් රටවලත් වෙනත් ආගමික පූජකයන් ගැන මෙවැනි සිදුවීම් ඇසුරෙන් චිත්‍රපට හදලා තියෙනවා. මේක පල්ලියට හෝ ආගමකට ඉලක්ක කළ දෙයක් හැටියට තේරුම් ගැනීම වැරදියි.


Save
Save
Related News