தமிழ்
English
Contact
Thursday 17th August 2017    
සුළඟ ගිණි අරන් – මරණය පිළිබඳ අසම්පූර්ණ කියවීමක්! « Lanka Views | Views of the truth

සුළඟ ගිණි අරන් – මරණය පිළිබඳ අසම්පූර්ණ කියවීමක්!



විමුක්ති ජයසුන්දර සිනමාකරුවා සිය පස්වන සිනමා කෘතිය ලෙස නිර්මාණය කළ ‘සුළඟ ගිණි අරන්’ කෘතිය පසුගිය දිනවල සීමිත දර්ශන වාර සංඛ්‍යාවක් සඳහා සිනමාහල් වලට නිකුත් විය. ඔහු කෘතීන් පහක් නිර්මාණය කර ඇතත් ලංකාවේ ප්‍රේක්ෂකයන් තවමත් දැක ඇත්තේ චිත්‍රපට දෙකක් පමණි. ඒ ඔහුගේ පළමු කෘතිය වන ‘සුළඟ එනු පිණිස’ සහ මෙය පමණි. ‘සුළඟ ගිණි අරන්’ නැරඹිය හැකි වුයේද ඉතා සීමිත පිරිසකටය. එය සිනමාහල් වලට නිකුත් වුයේ අනෙකුත් ඒවා අතර මැද ඇති දර්ශනවාර කිහිපයක් සඳහා පමණි. එසේ නැතිනම් මෙය නැරඹීමට තවත් වසර ගණනාවක් බලා සිටීමට අපට සිදුවනු ඇත. මේ ආකාරයට චිත්‍රපට ප්‍රදර්ශනය කරන විට එය නැරඹිය හැකි වන්නේ ඉතා සීමිත පිරිසකට පමණි. ලංකාවේ සිනමාවේ මෙම අර්බුදය වෙනම කතා කළ යුතුය. කෙසේ වෙතත් අපි දැන් විමුක්තිගේ ‘සුළඟ ගිණි අරන්’ වෙත හැරෙමු.

‘සුළඟ ගිණි අරන්’ චිත්‍රපටයේ ප්‍රධාන තේමාව මරණයයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක වෛද්‍යවරයෙකු සහ බෞද්ධ භික්ෂුවකි. වෛද්‍යවරයා සාමාන්‍ය වෛද්‍ය වෘත්තීය ආචාරධර්ම කඩ කරන වකුගඩු ජාවාරමකට සම්බන්ධ අයෙකි. ඔහු දුප්පතුන් ආර්ථික හේතු මත විකුණන වකුගඩු අතරමැදියෙක් හරහා ලබාගෙන විශාල ලාභයක් තබාගෙන මුදල් ගෙවන රෝගීන්ට බද්ධ කරයි. ඔහු දිවා කාලයේදී රෝගීන් සුවපත් කරන භුමිකාවක නියුතු වන අතර රාත්‍රී කාලයේදී ස්ත්‍රීන්ට ලිංගික හිංසා කරමින් බලහත්කාරකම් කරයි. ඔහු සිය රෝගී ස්ත්‍රීන්ව පවා ලිංගිකව අපහරණය කරන්නේ ඔවුන් නිර්වින්දන රසායනික යොදා ගනිමින් සිහි නැති කරමිනි. ඔහු ඉතාම හුදෙකලා ජීවිතයක් ගෙවන අතර සිය හෘද ශාක්ෂිය අහිමිව පීඩාවකින් පෙලෙයි. සිය ජීවිතය පිලිබඳ වරදකාරී හැඟීමකින් සහ පරත්වාරෝපිත තත්වයකින් සිටින වෛද්‍යවරයා චිත්‍රපටය තුල නිරූපණය වනුයේ හිටි ගමන් සිය පීඩාව නිසා සතෙකු මෙන් කෑ ගසන, හේතු විරහිතව ප්‍රචන්ඩව හැසිරෙන අයෙකු ලෙසිනි. වෛද්‍යවරයාගේ මුදල් පමණක් හඹා යන ජීවිතය සහ එයින් ඇතිවී තිබෙන පරත්වාරෝපිත තත්වය වෙනම කතා කළ යුතු මාතෘකාවකි. අප මෙහිදී අවධානය යොමු කරන්නේ වෛද්‍ය විද්‍යාව මරණය කෙරෙහි දක්වන ආකල්පය සහ මරණය ජය ගැනීම පිළිබඳව ඇති විද්‍යාත්මක විසඳුම කෙරෙහිය. දෙවන චරිතය බෞද්ධ භික්ෂුවකි. මේ භික්ෂුව කලින් වෛද්‍ය ශිෂ්‍යයෙකුව සිට, වෛද්‍ය විද්‍යාවට මරණය ජයගත නොහැකි බව වටහාගෙන, මරණය ජය ගැනීමේ මාර්ගය සෙවීම සඳහා වනගත භික්ෂුවක් හමුවේ පැවිද්ද ලබාගත් අයෙකි. මරණ ජය ගැනීමටනම් එය අත්දැකිය යුතුයැයි සිතා ඔහු වරක් ගෙල වැලලාගෙන සියදිවි නසා ගැනීමටද  සැරසෙයි. මේ තරුණ භික්ෂුව සහ ගුරුවරයා වන වැඩිහිටි භික්ෂුව අතර ඇතිවන සංවාදය අපට මරණය පිළිබඳවත්, එය ජය ගැනීම පිළිබඳවත් බෞද්ධ ආගමික මතය සමීප කරවයි.

මරණය යනු කුමක්ද, අපට මරණය ජය ගත හැකිද, එසේනම් ඒ කෙසේද, අප මරණය පිළිබඳව සාකච්ඡා කිරීමේ ප්‍රතිලාභය කුමක්ද, වැනි ප්‍රශ්න මිනිස් සමාජයේ ඉතා ඈත අතීතයේ සිට සාකච්ඡාවට බඳුන්වූ ප්‍රශ්න වන අතර ඒවා දර්ශනයේ ප්‍රධාන ප්‍රශ්නද වේ. මරණය ගැන කතා කිරීමේදී අප සැබවින්ම කතා කරනුයේ මරණය ගැන නොව ජීවිතය ගැනය. මරණය පිලිබඳ විවිධ අර්ථකතන හරහා අප සිදු කරනුයේ ජීවිතයට අර්ථයක් ලබා දීමයි. මරණය යනු ජීවිතයේ අවසානය වනවා සේම මරණය ජීවිතය සඳහා ආචාරධර්මයක් සපයයි. මරණය පිලිබඳ අපේ අදහස් අප ජීවත් විය යුත්තේ කෙසේද යන්න පිලිබඳ මාර්ගෝපදේශයක් සපයයි. විද්‍යාව සහ ආගම මරණය පිළිබඳව දක්වන අදහස් අපට වැදගත් වනුයේ එබැවිනි. විද්‍යාව මරණය යනු අපේ ශරීර ඉන්ද්‍රියයන් අක්‍රිය වීමක්, හෘදය වස්තුව සහ මොලය වැනි ඉන්ද්‍රිය අක්‍රිය වීමක් ලෙස සලකන අතර අපේ සිතද ශරීරයේම කොටසක්, වෙන් කල නොහැකි අංගයක්, ලක්ෂණයක් නිසා ශරීරය අක්‍රිය වීමත් සමගම සිතත් අක්‍රිය වන බව කියයි.  එනිසා මරණය යනු සියල්ලේ අවසානයි. මරණයෙන් පසු පුද්ගල පැවැත්මක් නැත. අපට ඇත්තේ මේ භාවය පමණක් නිසා, මේ ජීවිතය පමණක් නිසා එය වඩාත් හොඳින් ගෙවීම එය ජීවිතය සඳහා සපයන ආචාරධර්මයයි. නමුත් ආගම් මරණයෙන් මතු ජීවිතයක්, මරණයෙන් මතු පුද්ගල පැවැත්මක් ගැන කියන අතර අපේ මෙම ජීවිතය සකසා ගත යුතු වනුයේ අනාගත භාවයේ ජීවිතය වෙනුවෙන් බව එහි ආචාරධර්මයයි. විද්‍යාව මරණය පිලිබඳ සත්‍යය ගවේශනය කරන අතර ආගම අවධානය යොමු කර තිබෙනුයේ මිත්‍යාමය අනාගත පැවැත්මක් හරහා ජීවිතය වෙනුවෙන් ආචාරධර්මයක් නිර්මාණය කිරීමටය.

‘සුළඟ ගිණි අරන්’ චිත්‍රපටය විද්‍යාවේ සහ ආගමේ මෙම අර්ථකතන දෙක අප හමුවට ගෙන එයි. එකකට අනුව මරණය යනු සියල්ලේ අවසානය වන අතර මරණයෙන් මතු පැවැත්මක් නැත. ආගමට අනුව අපට මරණයෙන් පසුද පුද්ගල පැවැත්මක් තිබෙන අතර අප මේ ජීවිතය ගෙවිය යුත්තේ එම පරලොව ජීවිතය වෙනුවෙනි. විද්‍යාවට අනුව මරණය පරාජය කළ නොහැකි අතර අපේ ශරීරය සුවපත් කිරීම සහ එහි ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට විවිධ ප්‍රතිකර්ම කිරීම හරහා මරණය ප්‍රමාද කළ හැක. ආගමේ, විශේෂයෙන් චිත්‍රපටයේ සාකච්ඡාවට භාජනය වන බුද්ධාගමේ අදහසට අනුව මරණය මෙම ජීවිතය තුල පරාජය කළ නොහැකි අතර අනාගත මරණයන් වලක්වාලිය හැක්කේ මීළඟ උපත වැලක්වීමෙනි. චිත්‍රපටය මේ එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් අර්ථකතන දෙකම ඉදිරිපත් කරන අතර විමුක්ති ජයසුන්දර යම් පමණකට ආගමික මතයට වඩා සමීප බව කෘතිය තුල පෙනේ. සිනමාකරුවා ආගමික මතයට යම් නැඹුරුවක් දැක්වුවද චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයාට චිත්‍රපටය අවසානයේදී දැනෙන්නේ හිස් හැඟීමකි. මරණය පිලිබඳ විද්‍යාව සහ ආගම යන දෙකම පරිපූර්ණ අර්ථකතනයක් ඉදිරිපත් කිරීමට අසමත්ව ඇති බවක් අපට දැනෙයි. ව්ද්‍යාව සහ ආගම ඉදිරිපත් කරන අර්ථකතන දෙකට අමතරව මරණය පිලිබඳ ඊට වඩා මානුෂික, ඊට වඩා දේශපාලනික, ඊට වඩා ජීවිතයට ආචාරධර්ම සපයන තුන්වන කියවීමක් නැතිද? චිත්‍රපටය අවසන්වී අප සිනමාහලෙන් පිටවන්නේ එම ප්‍රශ්නය සිතෙහි මතු කරගෙන දෙගිඩියාවෙනි. සැබවින්ම මරණය පිලිබඳ තුන්වන කියවීමක් තිබේද? චිත්‍රපටය සම්බන්ධයෙන් කෙරෙන විචාරයකට වඩා අපගේ අවධානය එම ප්‍රශ්නය කෙරෙහි වැඩිපුර යොමු කිරීම මෙම ලිපියේ අරමුනයි.

මරණය යනු අපේ ජීවිතයේ අවසානය බවත්, මරණයෙන් පසු අපේ පුද්ගලික පැවැත්මක් නැති බවත් ඉතාම පැහැදිලිය. එසේනම් අපේ ජීවිතයේ මතු භවයක් ගැන, මරණයෙන් පසු අපේ ශරීරයෙන් ඉවත්ව යන ජීවයක් හෝ ආත්මයක් පිලිබඳ විවිධ ආගමික සංකල්ප ඇති වුයේ මන්ද? තමා සහ සොබාදහම අතර බෙදුම් ඉරක් සනිටුහන් කරගෙන නොසිටි, තමා සහ සොබාදහමේ වස්තු අතර වෙනසක් නොදුටු, තවමත් සොබා දහමේම කොටසක් වූ ආදී කාලීන මානවයා සොබා දහමේ වස්තු පුද්ගලාරෝපනය කර තමා අවට ලෝකය භූතාත්ම වලින් පිරී ඇති බව සැලකීය. ඒ  භූතාත්ම සහ කලින් ගෝත්‍රයේ සිටි බලපෑම් සහගත චරිතවල ආත්ම අතර සම්බන්ධයක්ද ඔවුන් දකින ලදී. එහෙත් ප්‍රාථමික ඇදහිලි වල මරණයෙන් මතු පැවැත්මක් තිබුනේ හැම දෙනාටම නොව ගෝත්‍රයේ සිටි නායකත්වයෙන්, හැකියාවෙන්, ජීවන ආදර්ශයෙන් විශේෂත්වයක් පෙන්වූ කිහිප දෙනෙකුටය. ඊට හේතු වන්නට ඇත්තේ ජීවත්ව සිටියදී ඇතැම් විශේෂ පුද්ගලයන් අනෙක් අයට කරන බලපෑම ඔවුන් මියගිය පසුවද කාලයක් යනතුරු අනෙක් අය තුල පවතින නිසා ඔවුන් තවමත් ජීවත් වන බව ප්‍රාථමික ගෝත්‍රයේ ජීවත්ව සිටින අයට දැනීම බව සිතා ගැනීම එතරම් අපහසු නැත. නමුත් සියලු දෙනාට මරණයෙන් මතු පැවැත්මක් ගැන ආකල්ප සහිත ආගමික විශ්වාසයන් වර්ධනය වුයේ පන්ති සමාජයේ ආරම්භයත් සමගිනි. මෙයට හේතු ගණනාවක් බලපාන්නට ඇත. එක පැත්තකින් පීඩිතයාට තමන්ගේ ශ්‍රමයද, තමන්ගේ ශරීරය හැසිරවීම පිලිබඳ අයිතියද තමාගෙන් ඉවතට යවන, එනිසා තමාගෙන් පරත්වාරෝපනය වූ තත්වය තම ජීවයද තමාගෙන් ඉවතට යාම පරිකල්පනය කිරීමට පෙළඹවීමක් කරන්නට ඇත. තමාගේ ශරීරය පිලිබඳ අයිතිය තමාටමත් අහිමි වූ තත්වයක් තුල තමන්ගේ ශරීරය තමන්ගේ තාවකාලික නැවතුම්පොළක් පමණක් බවත්, තමන්ගේම වන්නේ තමන්ගේ ශරීරය නොව චින්තනය බවත් සිතීම තේරුම් ගත හැකිය. මීට අමතරව පරලොව ජීවිතයක සැපතක් වෙනුවෙන් මෙලොව ජීවිතයේ පීඩනය උහුලා සිටින්නට පීඩිතයා පෙළගැස්වීමේ පීඩක පන්තියේ දේශපාලන අභිලාෂයන්ද නිසැකවම මෙවැන්නකට බලපෑම් කරන්නට ඇත. එනිසා මරණයෙන් මතු පුද්ගල පැවැත්මක් පිලිබඳ ආගමික මතය යතාර්ථයක් නොවන කල්පිතයක් වන නමුත් එය මෙම ජීවිතය සඳහා ආචාරධර්ම සැපයීමේදී විද්‍යාවට වඩා ශක්තිමත්ය.
නමුත් මරණය පිලිබඳ වඩා දේශපාලනික තුන්වන කියවීමක් නිර්මාණය කරගත යුතුව තිබේ. එම කියවීම මරණය පිලිබඳ යතාර්ථය පමණක් නොව ජීවිතය සඳහා ආචාරධාර්මික පදනමක්ද නිර්මාණය කළ යුතුය. මාක්ස්වාදීන්ට අනුවනම් මරණයෙන් අපේ ජීවිතය කෙලවර වේ. එහෙත් මරණයෙන් මතු අපට පුද්ගල පැවැත්මක් නැතත් මිනිස් වර්ගයාට අපේ පුද්ගල මරණයෙන් පසුද පැවැත්මක් ඇත. තේරෙන භාෂාවෙන් කියන්නේනම් අප මියගිය පසුවද මිනිස් සමාජය පවතින අතර අනාගත පරම්පරාවන් ජීවත් විය යුතුය. අපේ ජීවිතය සකස් කරගත යුත්තේ අපගේ මරණයෙන් පසුද පවතින මානව වර්ගයාගේ යහ පැවැත්ම පිලිබඳ වගකීම් සහගත භාවයෙනි. විප්ලවවාදීන් වඩා යහපත් සමාජයක අරමුණ වෙනුවෙන් සිය ජීවිතයේ සියලු පැති වෙන් කර අවසානයේදී එම අරමුණ වෙනුවෙන් මරණය වැළඳ ගැනීමට පවා නොපැකිලෙන්නේ එම වගකීම් සහගත භාවයෙන් මිස තමන්ට මරණයෙන් මතු පුද්ගල පැවැත්මක්, වෙනත් ජීවිතයක් ඇති බව සිතන නිසා නොවේ. එනිසා ජීවත් වීමේදී වැදගත් වන්නේ අපේ ජීවිතය ගෙවිය යුත්තේ අපේම ජීවිතය පිලිබඳ ආත්ම කේන්ද්‍රීය හැඟීමෙන් සහ මරණයෙන් මතු අපේ පුද්ගලික පැවැත්මක් පිලිබඳ විශ්වාසයෙන් සහ එම ජීවිතය සැපවත් කිරීමේ තන්හාවෙන්ද යන්න නොව අපේ මරණයෙන් පසුවද පවතින මිනිස් සමාජය පිලිබඳ වගකීම් සහගත භාවයයි. ‘අප සටන් කරන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරම්පරා වෙනුවෙන්’ යැයි කියන අරගලකරුවන්ද, ‘අනාගත පරම්පරාවන්ට යහපත් ලෝකයක් උරුම කර දීම වෙනුවෙන් අපි අපේ ජීවිතය පූජා කරමු’ යැයි කියන විප්ලවවාදීන්ද ප්‍රකට කරන්නේ එම ආචාරධාර්මික පදනමයි.

මරණය පිලිබඳ විද්‍යාත්මක සහ ආගමික අර්ථකතන දෙක ගෙන එන ‘සුළඟ ගිණි අරන්’ චිත්‍රපටය අවසානයේදී අපට ඉතිරි වන හිස්බව එම තුන්වන මාවත පිළිබඳව ඇති රික්තයයි. චිත්‍රපටය අවසානයේදී වෛද්‍යවරයා සිය සිරුරට ගිනි තබාගෙන මියගොස් අවතාරයක් බවට පත්වන අතර ඔහු ජීවිතයේ පීඩාවෙන් මරණය හරහා ගැලවෙයි. මරණය පිලිබඳ විද්‍යාත්මක ආකල්පය (මරණයෙන් පසු සියල්ල අවසන්ය යන ආකල්පය) හරහා ඔහු ජයගනී. බෞද්ධ භික්ෂුවද නිවන් දැක, එනම් බෞද්ධ ආගමික ආකල්පයට අනුව මරණය ජයගෙන සිය අභිලාෂයන් ජයගනී. ප්‍රශ්නය වන්නේ එම පුරාවෘතය සාකච්ඡා කරමින් වෙල්යායේ ඕමි ගසන තරුණයන්ගේ සහ වෛද්‍යවරයාගේ පිළිස්සුනු රුව දැක සිහිසුන් වන තරුණියගේ ඇතුළු ජීවත්ව සිටින්නන්ගේ ඉරණමයි. වකුගඩු ජාවාරමේ අතරමැදියා එක පැත්තක වෛද්‍යවරයාගේ අවතාරයත්, අනෙක් පැත්තේ බවුන් වඩන භික්ෂුවත් සිටින වනයේ අතරමැද ඇති මාර්ගයෙන් කොළඹ බලා පිටත්ව යන අතර ජීවත්ව සිටින පරම්පරාවන් එම ජාවාරම්කාර නව ලිබරල් ධනවාදයේ ගොදුරු බවට පත්වනු ඇත. මරණය පිලිබඳ අර්ථකථනය සම්බන්ධ වියයුත්තේ එම ජීවත්ව සිටින පරම්පරාවන්ගේ විමුක්තිය පිලිබඳ ප්‍රශ්නයත්, එම විමුක්ති දේශපාලනය තුල අපේ ජීවිත ස්ථාපිත වන ස්ථානයත් සමගය. මරණය ජීවිතය සඳහා වන අරුතක් ලෙස ප්‍රති-අර්ථකථනය කළ හැක්කේ එවිට පමණි.




Related News