தமிழ்
English
Contact
Thursday 17th August 2017    
සිරි ලංකාවේ ආර්ථික බැලුමේ හුලං බසී ! « Lanka Views | Views of the truth

සිරි ලංකාවේ ආර්ථික බැලුමේ හුලං බසී !



1978 වසරේ සිටම ලංකාව අනුගමනය කළේ එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ‘විවෘත ආර්ථිකය’ ලෙස නාමකරණය කරන ලද නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියයි. නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියේ තිබෙන අසාර්ථකත්වය එතැන් සිට වසර 40ක් ගෙවුණු වර්තමානයේ ඉතා සුපැහැදිලිව දක්නට තිබේ. ඒ කාලයේ ආර්ථික සමෘද්ධිය සඳහා ‘කෝකටත් තෛලයක්’ ලෙස හඳුන්වාදෙනු ලැබූ ආර්ථික පිළිවෙත් කෙතරම් විනාශකාරීද යන්න හොඳින්ම දර්ශනය වෙමින් තිබෙනුයේ වර්තමානයේදීය. වත්මන් ආණ්ඩුවේ කෙටි කාලීන ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දෙමින් 2015 සැප්තැම්බරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කළ පහත ප්‍රකාශය ඊට හොඳ නිදසුනකි.

‘ගරු කතානායකතුමනි,
ආර්ථික ක්ෂේත්‍රයේ පමණක් නොව, දේශපාලන, සමාජයීය, අධ්‍යාපන හා සෞඛ්‍ය ආදී විවිධ ක්ෂේත්‍රයන් ශක්තිමත් කරලීම සඳහාත්, වර්ධනය කරලීම සඳහාත් පදනම සැකසීමට අප බලාපොරොත්තු වෙනවා. ඉදිරි අවුරුදු දෙක තුළ ඒ පදනම සකස් කර, රටක් වශයෙන් ඉදිරියෙන් ඉදිරියට යෑම අපේ අභිප්‍රායයි.
ජනතාව තම තමන්ගේ ජීවන තත්වය පිළිබඳ සැලකිලිමත් වෙනවා. ආදායම් වැඩි කරගැනීමට පුළුවන්ද? දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට පුළුවන්ද? අධ්‍යාපනය අවසන් වූ පසු රැකියාවක් සොයා ගන්නට පුළුවන්ද? මෙතෙක් අපිට ඒ ප්‍රශ්න වලට සාර්ථක පිළිතුරු ලබා දෙන්නට නොහැකි වී තියෙනවා. අපි අසාර්ථකයි.
ඊට හේතු දැක්වීම්, නිදහසට කරුණු ඉදිරිපත් කිරීම් සහ සටන් පාඨ කඩතුරා වලින් කර තිබෙන්නේ ප්‍රශ්නයේ සැබෑ ස්වරූපය තව තවත් වසන් කර තැබීමයි. නමුත් තව දුරටත් ඒ අයුරින්  ඉදිරියට යන්නට බැහැ. ජනතාව හෙම්බත් වෙලා ඉන්නේ. ඔවුන්ට වෙනසක් අවශ්‍යයි.’

නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දී වසර 40ක් පිරෙන මොහොතේදී ආර්ථික විෂමතාව පෙර නොවූවිරූ ලෙස වැඩිවී තිබේ. ‘නයිට් ෆ්‍රෑන්ක්’ නම් එක්සත් ජනපදය පදනම් කරගත් ආයතනය නිකුත් කර තිබෙන නවතම වාර්තාවට අනුව ලොව සුපිරි ධනවතුන් වර්ධනය වීමේ වේගය අතින් කොළඹ නගරය ලොව දෙවන ස්ථානයට පත්ව තිබේ. එම වාර්තාවට අනුව, කොලඹ නගරය තුල සුපිරි ධනවතුන් හෙවත් ඩොලර් මිලියන 30 ට වැඩි පුද්ගලික වත්කම් සහිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉදිරි දශකය තුල 70 සිට 182 දක්වා 160% කින් ඉහල යනු ඇත. 2016 දී ඩොලර් මිලියනපතියන් 3,400 ක් ද ඩොලර් මිලියන 10 වැඩි බහු මිලියනපතියන් 170 ක් ද ඩොලර් මිලියන 30 වැඩි ඉතා ඉහල ශූද්ධ වත්කම් සහිත සුපිරි ධනවතුන් 70 ක් ද කොලඹ නගරය තුල සිටි බව එම වාර්තාව කියයි. මෙලෙස සුපිරි ධනපතියන් බිහි කිරීමෙන් ලංකාව ලෝක වාර්තා තියන්නේ ලංකාවේ ජනගහනයෙන් 40%ක්ම ඩොලර් 2කට වඩා අඩු දෛනික ආදායම් ලබන තත්වයක් තුලය. 2016 වසරේ ජාතික ආදායමින් 52.9%ක්ම ජනගහනයේ පොහොසත්ම 20% හිමි කරගත් අතර දුප්පත්ම 20% හිමිකම් කියුවේ ජාතික ධනයෙන් 4.5%කට පමණි. ඊනියා ආර්ථික සංවර්ධනයේ පල බෙදී යන්නේ කෙතරම් අසමාන ආකාරයකින්ද යන්නත්, එක පසෙක ඉසුරුමත් සිටුවරුන් සහ අනෙක් අන්තයේ ලක්ෂ ගණන් දිළින්දන් ගොඩ ගසන මේ ආර්ථික ප්‍රතිපත්තියේ විනාශකාරීත්වයත් හොඳින්ම පැහැදිලිය. එනිසා 2016 වසරේ දල දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 82.3ක් නිසා ඒක පුද්ගල දල දේශීය ආදායම ඩොලර් 3924 දක්වා ඉහල ගොස් ඇති බවටත්, ලංකාව මැදි ආදායම් ලබන රටක් වී ඇති බවටත් නගන ගොශාවේ අර්ථයක් නැත. එම එක පුද්ගල ආදායම හිමි වන්නේ ඉතා සුළුතරයකට පමණි. මෙතරම් විශාල විෂමතාවක් පවතිද්දී සමස්ත දල දේශීය නිෂ්පාදිතය ජනගහනයෙන් බෙදා ලබා ගන්නා ඉලක්කම් වංචාවක් පමණක් වන අතර එයින් කිසිදු අදහසක් ලබා ගත නොහැක. නිදසුනක් ලෙස 2016 මහබැංකු වාර්තාවට අනුව වාර්ෂික ඒක පුද්ගල දල දේශීය ආදායම රුපියල් 5,33,798කි. එනම් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක වාර්ෂික ආදායම රුපියල් 6,405,576ක් විය යුතුය. එනම් මාසිකව පවුලක ආදායම රුපියල් 533,798ක් විය යුතුය. එම මාසික ආදායම තිබෙන පවුල් කීයක් ලංකාවේ තිබේද?

පසුගිය වකවානුවේ ක්‍රියාත්මක වූ නව ලිබරල් ධනවාදී ප්‍රතිපත්තියේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ආර්ථිකයේ සැබෑ වටිනාකම් උපදවන ක්ෂේත්‍ර හකුළුවා මූල්‍ය සමපෙක්ෂණ බුබුලක් ආර්ථික වර්ධනයක් ලෙස මවා පෙන්වමින් පිම්බීමයි. ඒ අනුව කර්මාන්ත, කෘෂිකර්මාන්ත සහ නිෂ්පාදනය ආශ්‍රිත සේවා ක්ෂේත්‍ර සඳහා ප්‍රමාණවත් පරිදි අවකාශය නොසලසන අතර ඒ වෙනුවට මූල්‍ය සේවා පුළුල් කරමින්, මූල්‍ය බුබුලක් පුම්බමින් එය සංවර්ධනයක් ලෙස හුවා දක්වති. මේ සඳහා හොඳම උදාහරණය පසුගිය දස වසර තුල රාජ්‍ය ආයෝජන වල ප්‍රාග්ධන වියදම් වෙන් කර තිබෙන ආකාරයයි. පසුගිය දස වසරේ සාමාන්‍ය අගය ගත කල රාජ්‍ය ආයෝජන වල ප්‍රාග්ධන වියදම් වලින් 45%ක්ම වෙන් කර තිබෙන්නේ මාර්ග සංවර්ධනයටය. ඒ මූල්‍ය ජාවාරම්කාර ආයෝජකයන්ගේ අවශ්‍යතා සඳහා මිස ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා නොවේ. ඒ බව පැහැදිලි වන්නේ මෙලෙස ඇති විශාල ලෙස මුදල් වෙන් කරන ලද මාර්ග මුදල් ගෙවා පරිහරණය කල යුතු අධිවේගී මාර්ග වීම සහ ජනතාව බහුලව භාවිතා කරන මාර්ග තවමත් අවශ්‍ය ලෙස පුළුල් නොවී දැඩි තදබදයක් සහිතව පැවතීමය.

මෙලෙස ආර්ථිකයේ සැබෑ වටිනාකම් උපදවන ක්ෂේත්‍ර වර්ධනය නොවීම නිසා රටේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය සියලු භාණ්ඩ සහ සේවා විදේශ වලින් ආනයනය කිරීමට සිදුවේ. එමෙන්ම රටට ආදායම් ලබා ගැනීම සඳහා විදේශ වලට කරනු ලබන අපනයන අඩුවේ. 2015 වසරේ ලංකාව අපනයනය හරහා ආදායම ලෙස ඩොලර් මිලියන 11.130ක් ඉපැයූ අතර ආනයන සඳහා ඩොලර් මිලියන 19,417ක් වැය වී තිබිණි. ඒ අනුව වෙළඳ ශේෂය ඩොලර් මිලියන 8,287ක් හෙවත් ඩොලර් බිලියන 8.2කි. මෙම වෙළඳ හිඟය 2016 වසරේදී ඩොලර් බිලියන 9.2දක්වා වාර්තාගත ඉහලම අගයට පැමිණි අතර 2017 වසරේදී එය තවත් ඉහල යාමට නියමිතය. අවසාන වරට 2017 මැයි මස 25වැනිදා මහබැංකුව විසින් නිකුත් කරන ලද 2017 පෙබරවාරි මාසයේ විදේශ වෙළඳාම් දත්ත මෙම අර්බුදය 2017 වසරටත් සම්ප්‍රේෂණය වන අයුරු පෙන්වන කැඩපතකි. එයට අනුව 2017 පෙබරවාරි මාසයේ අපනයන ආදායම 2016 වසරේ එම මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 892 සිට 868 දක්වා 2.7%කින් පහල ගොස් තිබේ. ආනයන වියදම් 2017 පෙබරවාරියේදී ඊට පෙර වසරේ එම මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 1439.3 සිට 1611.2 දක්වා 11.9%කින් ඉහල ගොස් තිබේ. ඒ අනුව පෙබරවාරි මාසයේ පමණක් වෙළඳ හිඟය පෙර වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 547.7 සිට 743.4 දක්වා 35.7%කින් වැඩිවී ඇති අතර මේ වසරේ මුල් මාස දෙක සලකු විට වෙළඳ හිඟය පෙර වසරේ අනුරූප කාලයට සාපේක්ෂව ඩොලර් මිලියන 116.5 සිට 223.6 දක්වා 91.9%කින් වැඩිවී තිබේ. එනම් වෙළඳ හිඟය 2016 මුල් මාස දෙකට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස දෙකේදී දෙගුණයක් වී තිබේ. එනම් මෙය දෛනිකව උග්‍ර වන අර්බුදයකි. මේ අර්බුදයේ බර ආණ්ඩුව මුලුමනින්ම ජනතාව මත පටවන්නේ සමාජ ආරක්ෂණ සේවා වලින් රජය ඉවත්වී එහි බරද ජනතාව මත පැටවීමෙන් සහ බදු වැඩි කිරීමෙනි.

මෙම අර්බුදයට පාලකයන් පිළිතුරු සොයන්නේ ආර්ථික උපායමාර්ගය වෙනස් කිරීමෙන් නොව වැඩිවැඩියෙන් ජනතාව මත බර පැටවීමෙන් සහ නය ගැනීමෙනි. ඔවුන්ට ආර්ථිකය සම්බන්ධයෙන් බංකොලොත් නව ලිබරල් ප්‍රතිපත්තිය හැර ප්‍රතිපත්තිමය විකල්පයක් නැත. 2016 වසරේදී රජය දේශීය ණය රුපියල් බිලියන 5342ක් සහ විදේශීය ණය රුපියල් බිලියන 4046ක් ලෙස රුපියල් බිලියන 9388ක සමස්ත ණයක් ගෙන තිබේ. එය දල දේශීය නිෂ්පාදිතයෙන් 79.3%කට සමාන වන අතර 2015 වසරට සාපේක්ෂව 10.4%ක වැඩිවීමකි. මෙහි සම්පූර්ණ බර පටවෙන්නේද ජනතාව මතය. මීට අමතරව ජාත්‍යන්තර මොල්ල්ය අරමුදල ඇතුළු අධිරාජ්‍යවාදී ආයතන වල කොන්දේසි පිළිපැදීම නිසා සිදුවන හානියද පැටවෙන්නේ ජනතාව මතය. නිදසුනක් ලෙස එම කොන්දේසි වලට හිස නවමින් රුපියලේ අගය අවප්‍රමාණ කිරීම නිසා 2016 වසර තුල ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 186.6කින් ඉහල ගියේය. ආණ්ඩුව බදු ඉහල දමමින්, රාජ්‍ය ව්‍යවසායන් විකුණා දමමින්, අධ්යාපනය-සෞඛ්‍ය සේවය ආදී සමාජ ආරක්ෂණ සේවා මුදලාලිකරණය කරමින් මේ අර්බුදයේ සමස්ත බර වැඩකරන පන්තිය මත පටවමින් සිටී. එබැවින් මේ බුබුළු පිම්බීමේ ව්‍යාජ සංවර්ධන ආකෘතිය එලෙසම තිබියදී මුහුණු මාරු කිරීම වෙනුවට එම කොල්ලකාරී, ජනතා විරෝධී, ආර්ථික සංහාරක ප්‍රතිපත්තිය වෙනස් කිරීම් සඳහා වන ජනතා බලයක් ගොඩ නැගිය යුතුව තිබේ.




Related News