தமிழ்
English
Contact
Monday 23rd October 2017    
ලංකාවෙ තරුණ තරුණියන්ට සමාජ වැඩ ඇලජික්ද? – සුජිත් කුරුවිට « Lanka Views | Views of the truth

ලංකාවෙ තරුණ තරුණියන්ට සමාජ වැඩ ඇලජික්ද? – සුජිත් කුරුවිට



මේ වගේ කාලෙක මේ වගේ මාතෘකාවක් සඳහා මේ සංවාදය තෝරා ගැනීම පිළිබඳ ස්තූතිවන්ත වෙනවා. මාතෘකාව හැටියට සංවිධායක මණ්ඩලය යෝජනා කරගෙන තියෙන්නේ තරුණයන්ට සමාජ වැඩ ඇලජික්ද යන්නයි. සාමාන්‍යයෙන් ස්වාධීන රූපවාහිනිය වගේ එකක දොරමඩලාව වගේ වැඩසටහනක් ගත්තත් ගොඩක් විද්වතුන් වගේ අය ඇවිත් කරන සාකච්ඡාවක් ගත්තත් නිරන්තරයෙන්ම කතාකරන එකක් තමයි මේ තරුණ පරම්පරාව අප්සට්. අපේ කාලේ වගේ නොවෙයි කියන කතාව. එතකොට දැන් තරුණයන් සමාජ වැඩ වලට සම්බන්දධ වෙන්නේ නැහැ කියන කතාවත් එක අතකින් ගත්තම ඒ වගේ එකක්. අප විශ්වාස කරන්නේ මේ සංවිධායක මණ්ඩලය මේ කැදවීම කර තිබෙන්නේ දොරමඩලාව අරමුණෙන් නොවෙයි කියලා මේ ප‍්‍රශ්නේ විශේෂයෙන්ම අපේ අත්දැකීම් ඇසුරෙන් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ.

සමාජ දේශපාලනය හා ජීව විද්‍යාත්මක තත්වය

හැමදාම මේ පරම්පරාවන්හි කිසියම් වෙනස්කම් එක්ක තමයි ඉතිහාසය ඉදිරියට ආවේ. එතකොට මේ තරුණ පරම්පරාව කලින් එකට වඩා වෙනස් කියන එක ගත්තම ඒ වෙනස්කම පිළිබඳ පරස්පරයක් මතුවෙලා තිබුණා. ඇත්තටම මේක 5 වැනි සියවසේදිත් මතුවුන ප‍්‍රශ්නයක්. සොක‍්‍රටීස් ඉන්න කාලෙන් ඔය ප‍්‍රශ්නේ ඔය විධියටම තියෙනවා . මේ තරුණ පරම්පරාව මේ දේවල් ඉස්සරහට ගෙනියන්නේ කොහාට ද? මේ තරුණ පරපුර අප්සට් නේද? කියලා. සොක‍්‍රටීස් ඒකට විරුදධව පෙනි සිටියා. එයා කියනවා “එහෙම නැහැ තරුණයෝ තමයි නිර්මාණශීලී. තරුණයෝ මේක ඉස්සරහට ගෙනියනවා අපව අභිබවා ඉදිරියට යනවා.” සොක‍්‍රටීස් පෙනී සිටින්නේ ඒ වෙනුවෙන්.

ඒක නිසා මේක ඉතිහාසය පුරාම දිව ආපු කතාවක්. හැබැයි අපි මේක සොක‍්‍රටීස්ගේ ඒ කතාවටම ඌණනය කරන්න උත්සාහ කරන්නේ නෑ. මොක ද සමාජයේ ඉතිහාසය ගලාගෙන එද්දි සමහර විට වේගයෙන් ඉදිරියට ගලාගෙන යන කාලවල් තියෙනවා. සෙමෙන් යන කාල තියනවා. ඒක ආපස්සට කැරකිලා ආපසු ඉස්සරහට එන කාලවල් තියෙනවා. ඒක කොහොම එකක්ද කියලා අපට වෙනම සාකච්ඡා කරන්න ඕන තත්වයක් තියෙන්නේ. මේ ප‍්‍රශ්නේ දි අප හිතනවා තරුණයෝ කියලා කියන්නේ ජීව විද්‍යාත්මක බෙදීමක්. ඒක ආර්ථිකමය හෝ සමාජමය බෙදීමකට වඩා ජීවවිද්‍යාත්මක බෙදීමක්. යම්කිසි වයස් කාණ්ඩයක පිරිසකගේ මේ කුලකය ඒ වයස් කාණ්ඩයේ පිරිස තුළත් තරුණයෝ කියන පොදු කුලකය ඇතුලත් උප කුලක ගොඩක් තියනවා.

දැන් කුමන පංතියේ තරුණයන් ගැනද මේ කතාකරන්නේ. පහළ පන්තික, මැදපන්තික නැත්නම් අධිපති පංතියේ තරුණයන් ගැන ද? ඒ සාකච්ඡාව තව ටිකක් ඒ පැත්තට ගෙනියන්න මම කැමතියි. අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට විශේෂයෙන්ම පහළ පංතික සහ මැද පන්තික තරුණයන් එක්ක දේශපාලනය කරනවා. ඉතින් ඒඅයත් එක්ක වැඩ කිරීමේ කිසියම් දේශපාලන අත්දැකීම් අපට තියනවා. අපි දකින්නේ තරුණයෝ සමාජ වැඩවලින් එහෙම වියුක්ත වෙලා නැහැ කියන එකයි. සමාජ වැඩ කියලා කියන්නේ මොනවද එතකොට සමාජ වැඩ කියලා කියන්නේ තමන්ගේ පුද්ගලිකත්වයට පරිබාහිරින් තවත් පිරිසක් එක්ක එකතුවෙලා කරන කිසියම් හෝ කටයුත්තක්. එතකොට ඒ අර්ථයෙන් ගත්තම ගම් වල අපි දකිනවා තරුණයෝ ඕන තරම් සමාජ වැඩ කරනවා. මොකද මිනිසා කියන්නේම සාමජීය සත්වයෙක්. සාමුහික සත්වයෙක්. ඒක දැන් මේ ධනවාදය ඇතුලේ පුළුවන් තරම් හුදකලා කරලා කේවල් කරලා කිසියම් නරුමත්වයකට තල්ලූ කරන්න ලොකු මෙහෙයුමක් දියත් වෙන එක වෙනම දෙයක්. නමුත් මිනිසාගේ විභවයම තියෙන්නේ සමාජීයත්වය. එහිදි තරුණයන් අපි දකිනවා ග‍්‍රාමීයවත් නාගරිකවත් ආයතනය තුළත් විශ්ව විද්‍යාල වගේ තැන්වල දීත් සාමාජීය කටයුතු වල නිරතවෙලා ඉන්නවා.

දැන් ගමක දන්සැලක් සංවිධානය කරන එක ගත්තොත් ඒකේ පිටිපස්සේ ඉන්නේ තරුණයෝ. මං හිතන්නේ දේශපාලනඥයන්ට වඩා පිරිස් එකතු කරනවා තරුණ අය පිට්ටනි පිරෙන්න. තරුණ පිරිස් තමයි ගම්වල ඒවට කරගහන්නේ. මළ ගෙයක් ගත්තොත් මළ ගෙදර දවස් හතම තරුණයන් තමයි මුලිකත්වය ගන්නේ. මේක නාගරිකව නම් අඩුයි. තරුණයින් ගැන කතා කරද්දි සාමාන්‍යයෙන් වචන වලත් භාවිතා කරනවා සෙට් වෙනවා කියලා. සෙට් වෙනවා කියන්නේම සමාජීය වෙනවා කියන එක. ගොඩක් මෑතක දී එන වචනයක් තමා ‘ෂෙයාර්’ වෙනවා කියන එක. අලූත් පරම්පරාව පාච්චිචි කරන වචනේ.

මේ ෂෙයාර් වෙනවා කියන්නේ මොකක් ද? තවත් අය එක්ක මුහුවෙනවා කියන එක. ඒ මුහුවීමට තරුණයන් කැමතියි. සෙට්වීමට කැමතියි. වෙන කටයුත්තක් නැත්නම් ගංජා සුරුට්ටු ගහන්නවත් සෙට්වනවා. ටි‍්‍රප් යනවා. මේ විවිධ දේවල් කරනවා. ඇත්තටම ඔය වතුකරය වගේ ගත්තහම තරුණයෝ කරන ප‍්‍රධාන දෙයක් තමයි සය සාමාජික ක‍්‍රිකට් තරගාවලි සංවිධානය කරන එක. ආපසු එකතුවෙලා වීඩියෝ චිත‍්‍රපටි බලනවා. අහල බැලූවොත් වීඩියෝ නොබලපු එකක් නෑ. වතුකරයේ වත්තකට එහෙම ගියාම ප‍්‍රධාන දේවල් දෙකක් තියනවා. එකක් තමයි ඕනෑම වත්තක කොච්චර දුර ගියත් වීඩියෝ, සීඩි විකුණන කඩයක් තියනවා. ආපහු තැබෑරුමක්. බොන එක හරි තමන් තනියම ගෙනල්ලා බොන්නේ නෑ. ඒ නිසා තරුණයන්ගෙන් එම සමාජීය ක‍්‍රියාව ගිලිහිලා නැහැ. තාමත් ඒක තියෙනවා. ඉස්සරහටත් එහෙම ගිලිහෙන්නෙත් නැහැ.

ලූම්පන්, මැදපංතික, ග්‍රාමීය තරුණ කණ්ඩායම්  

දැන් විශ්ව විද්‍යාල ගත්තහම ඇත්තටම ක‍්‍රියාකාරි තරුණ ප‍්‍රජාවනේ ඉන්නෙ. ඒ අය තමන්ගේ අයිතිය විතරක් නෙමෙයි. තමන්ට අවුරුදු තුන හතර ඉදලා උපාධිය අවසන් කරල යන්න පුලූවන්කම තියෙද්දි ඊළඟ පරම්පරාවේ අයිතිය වෙනුවෙන් අතිශය අභියෝග ගොඩක් මැද්දේ සටන් කරනවා. සටන් විතරක් නෙවෙයි ඇත්තටම කලා සංස්කෘතික කටයුතු විවිධ විෂය බාහිර කටයුතු ගොඩක් දේවල් කරනවා. තමන්ගේ බැජ් එකේ සහෝදර සහෝදරියන්ගේ මළගෙයක් වුනත් ඒඅය ගොඩක් ක‍්‍රියාකාරීව මැදිහත් වෙනවා. එතකොට නාගරිකව සහ ග‍්‍රාමීයවත් ඒ අය සමාජීය කටයුතු වල යෙදෙනවා කියලයි අපි දකින්නේ. නාගරිකව හා ග‍්‍රාමීය කටයුතු වල වෙනස්කම් තියනවා. අපි ව්‍යාපාරයක් විධියට ගත්තාම විවිධ නම් වලින් හැදින්වෙන, ඒ කියන්නේ ලූම්පන්, මැදපංතික, ග්‍රාමීය වගේ තරුණ කණ්ඩායම් ගොඩක් අයත් එක්ක අපි ගනුදෙනු කරනවා.

කොළඹ ප‍්‍රදේශයේ ගත්තහම මට්ටක්කුලියේ සේදවත්තේ හෝ වනාතමුල්ලේ ගත්තොත් ඒ තරුණයෝ ගෙවල් වලටම වෙලා මුලූගැන්වෙලා ඉන්න අය නෙවෙයි. ඒ අය නොයෙක් සමාජ කටයුතු වල නිරත වෙනවා. ඒ සමාජ කටයුතු ගැන වාද විවාද තියෙනව වෙන්න පුලූවන්. දැන් මෙතෙන්දි අපට පළමුව මෙහෙම ප‍්‍රශ්නයක් මතුවෙනවා. පළමුව මේ සමාජීය කටයුතු කොයිතරම් ප‍්‍රගතිශිලිද කියන ප‍්‍රශ්නය.දෙවනුව අපෙන් ප‍්‍රශ්නයක් ඇහුවොත් තරුණයා සමාජීය වැඩවලින් වියුක්ත වෙලාද කියලා අපි කියන්නේ නැහැ කියලා. එහෙම නම් වර්තමාන තරුණයාගේ සමාජීය කටයුතු කොයි තරම් ප‍්‍රගතිශිලීද කියලා ඇහුවොත් අපි කියන්නේ එතන ප‍්‍රශ්නයක් තියනවා කියලයි. දැන් අපට මේ සාකච්ඡාව කරන්න වෙන්නේ අපි එක කාලෙකදි ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ ශිෂ්‍ය ව්‍යපාරයේ සහ තරුණ ව්‍යාපාරයේ කටයුතුවලත් ඊට පස්සේ පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ශිෂ්‍ය තරුණ කොටස් අතර කටයුතු වලත් අත්දැකීම් ආශ‍්‍රයෙන් තමයි.

තරුණයාගෙ ප්‍රශ්ණයක් ද? සමාජයේ ප්‍රශ්ණයක්ද?

කලින් පරම්පරාවට වඩා වෙනස් වෙන්න පුලූවන් මේ ප‍්‍රශ්නේ දි. හැබැයි අපි විශ්වාස කරන්නේ ඒක තරුණයාගේ ප‍්‍රශ්නයක් නොවෙයි කියල. තරුණයා තනිවම වගකියන්න ඕන ප‍්‍රශ්නයක් නොවෙයි ඒක. ප‍්‍රගතිශිලිත්වය කියන්නේ ප‍්‍රගතිශිලි සමාජවැඩ කියන්නේ මොනවාද කියලා ඒ තරුණයට අඩුම ගානේ සාකච්ඡාවක්වත් ගිහිල්ල නැහැ. එයා දන්න දේ කරනවා. “මචං එකතුවෙලා මොකක්ද අපි කරන්නේ? ලබන වෙසක් එක එනවා අපි දන්සැලක් දෙමු” එයා දන්නේ ඒකයි. එහෙම තමයි ඒ ක‍්‍රියාවට මුලපුරන්නේ ඒකෙදි කට්ට කාගෙන වැඩකරනවා. ගම්වල පුවක්ගස් කපාගෙන උණගස් කපාගෙන අතේ තියන සල්ලි වියදම් කරගෙන කරනවා. සංගීත සන්දර්ශනයක් වුනත් එහෙමයි. එයා දන්න පමණින් මැදිහත් වෙනවා.

එතකොට ප‍්‍රගතිශිලි සමාජ කටයුතු මොනවාද? ප‍්‍රගතිශිලිත්වය මොකක්ද කියන කතාව ඒඅයට ගිහින් නැහැ. එතනයි ප‍්‍රශ්නය තියෙන්නේ. එම ප‍්‍රශ්නෙට හේතු සාධක ගොඩක් තියනවා. එක පැත්තකින් කලින් සහෝදරය කිව්ව වගේ අධ්‍යාපනය ප‍්‍රශ්නයක්. ලංකාවේ අධ්‍යාපනයෙන් ඇත්තටම කටපාඩම් කරන උගතුන් බිහිකරන තත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. මම දන්න තරමින් විශ්ව විද්‍යාල වලත් දේශන වලට අමතරව ටියුෂන් පංති යන ශිෂ්‍යයන් ඉන්නවා. අපි ඉගෙන ගන්නකොටත් සමහර විෂයයන් තිබුණා. සමහරු ඒ විෂයයන් වලට විශ්ව විද්‍යාල දේශන වලින් පස්සේ ටියුෂන් යනවා.

මට ළගදි හමුවුනා අපේ සහෝදරයකුගේ දුවක්. උසස්පෙළ විභාගයට සුදානම් වන එයා ආර්ථික විද්‍යාව කරනවා. ඉතින් අපි කාලෙකට ඉස්සෙල්ලා ඕව කරලා තිබුණ නිසා සොයා බැලීමත් කළා. ආර්ථික විද්‍යාවේ තියනවා ජාතික ආදායම ගණන් හදන හැටි. මම ඒ පාඩම පොඩ්ඩක් අරගෙන කියලා දෙන්න උත්සහ කළා. “ජාතික ආදායම හැදෙන්නේ මේව මේවා එකතුවෙලා නේද?” කියලා. “පොඩ්ඩක් ඔයා හිතුවනම් හොදයි නේද?” කියලා. “බෑ බෑ එහෙම නොවෙයි ඒ වාක්‍ය එහෙමයි කියලා ඔලූවේ දාගන්නේ නැත්නම් අවුල් වෙනවා. ඔයා මේක කිව්වම මම මතක තියාගෙන ඉන්න එකත් අවුල් වෙනවා. ඒක නිසා ඕව කියන්න එන්න එපා” කියලා ඇය කිව්වා. ඒක තමයි අධ්‍යාපනයේ ඇත්ත තත්වය විශ්ව විද්‍යාල වල පවා එහෙමයි. අපට මයික්‍රො ඉකොනොමික්ස් ( ශුද්ධ ආර්ථික විද්‍යාව කියලා විෂයයක් තිබුණ. ආපු ගමන්ම ඉංග‍්‍රිසි භාෂාවෙන් උගන්වනවා. ඉතින් අපට අමාරුයි. හැමෝටම ඒ විෂය අමාරුයි. පස්සේ අපි පාස් පේ‍පර්ස් එහෙම හොයාගෙන බැලූවාම ඒවා ඉලක්කම් ටිකක් විතරයි වෙනස් වෙලා තියෙන්නේ. හැමදාම එන ප‍්‍රශ්න බිංදු වලින් තමා වෙනස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ යාලූවෙක් හොයාගෙන ආව පොතක්. කතුවරු මට හරියට මතකනෑ. ඒ පොත බැලූවාම ඒ පොතේ තියන උදාහරණ ටිකම බිංදු වෙනස් කරලා අපේ ආචාර්ය වරයා කරල තියෙන්නේ. ඉතින් ඒ තාර්කිකත්වය තරුණ පරම්පරාව තුළ ශිෂ්‍යයන් තුළ නිර්මාණය කිරීමේ අපේ අධ්‍යාපනයේ ප‍්‍රශ්නය තමයි මේ තියෙන්නේ. ඒක බරපතල ප‍්‍රශ්නයක්. ඒවා වෙන වෙනම සාකච්ඡා කරන්න ගත්තොත් ඒව අපට වෙනම සාකච්ඡා කරන්න වෙනවා.

සිස්ටම් එකට අවශ්‍ය ශ්‍රමිකයන්!

ඒ විතරක් නෙමෙයි. ඇත්තටම මේ සිස්ටම් එකට ඕනකරලා තියෙන්නේ ඒකට ඕන කරන ශ‍්‍රමිකයෝ බිහි කරන්න. සුද්දන්ගේ කාලේ ඒගොල්ලන්ගේ වතු වැවිලි ආර්ථිකයට අවශ්‍ය කරන ශ‍්‍රමිකයන් බිහිකරන්න කිසියම් හෝ අධ්‍යාපනයක් ලබාදුන්න. අද කරන්නේ ඒ දේම තමයි. විශ්ව විද්‍යාල වල අලූත් පාඨමාලා පටන්ගන්නේ මොකට ද? තොරතුරු තාක්ෂණය( බයෝ ටෙක්නොලොජි ) අලූතෙන් ඔය වගේ විෂයයන් අරන් එනවා. ඒ ඔක්කොම මේ කලාපය තුළින් ගෝලීය වෙළද පලට අවශ්‍ය කරන ශ‍්‍රමිකයන් කවරෙක්ද ඒ අය නිර්මාණය කරන රැකියා. මට මේ ළගදි වෛද්‍යවරයෙක් කිව්වා යුරෝපයේ විශේෂයෙන් ආසියාවෙන් එන වෛද්‍යවරුන්ට ලොකු ඉල්ලූමක් තියනවා කියලා. එයා කියන්නේ යුරෝපයේ ගොඩක් රටවල වෛද්‍ය වෘත්තීය ඉගෙන ගන්න ඒ අය මැලිවෙනවා. ඒක ස්ටෙ‍්‍රස් වැඩි රස්සාවක් නිසා. ඒ නිසා දැන් වෛද්‍ය හරි අලූතෙන් හදුන්වා දෙන බයෝ ටෙක්නොලොජි, අයි.ටී වගේ ගත්තහම ඒවා වටින්නේම අද වෙළෙදපලට. එයින් කරන්නේ වෙළදපලට අවශ්‍ය කරන ශ‍්‍රමිකයෝ නිර්මාණය කිරිම. අධ්‍යාපන ප‍්‍රශ්නෙ වෙනම තියනවා.

අධිපති පංතියේ දෘෂ්ටිවාදය දවසේ පැය 24 ම හැමතැනම වැඩ කරනවා. රූපවාහිනිය, ගුවන්විදුලිය වැනි විවිධ මාධ්‍ය වලින්, අධ්‍යාපනයෙන් සංස්කෘතික ක‍්‍රියා කාරකම් වලින් සහ ආගමෙන් යන හැම එකක් හරහාම තරුණ පරම්පරාවට විතරක් නොවෙයි අනිත් හැමෝටම වපුරන්නේ ඒ දෘෂ්ඨවාදය. ඒ දෘෂ්ටිවාදයේ රූකඩ බවට සමාජයම පත්කරලා තියෙන්නේ. ඒවා ක‍්‍රියාත්මක වෙද්දි අපි රූකඩ වෙලා හිටියොත් වැඩක් නැහැ. ඒකට පටහැනිව විකල්පය මේකයි. කියලා අධ්‍යාපනය මේකයි කියල මතවාදයක් සමාජයට ගෙනියන්න ඕන. කව්ද එහෙම කරන්නේ. අප හිතනවා විශේෂයෙන්ම වමේ ව්‍යාපාරය ඒක කරන්න ඕන. එය ඉතිහාසයේ එවැනි විශාල සාධනීය කටයුත්තක් කළා. දැන් ලෝකෙත් අද ලංකාවෙත් ඒ වමක අඩුව බරපතල ලෙස තියනවා.

සමාජ අසාධාරණයට එරෙහිව

71, 89 අරගල පරාජයට පත් වුනත් ඒ අරගල විසින් තරුණ පරම්පරාව සමාජ අසාධාරණයට එරෙහිව නැගි සිටිය යුතු යැයි කියන මතය පරාජයට පත්වුනේ නැහැ.90 ගණන් වල මුල විශ්ව විද්‍යාල වලට ආපු අය ඒ එන්නේ තමන් සමග එකට හිටිය ඉතිහාස පරම්පරාව ජීවිත පරිත්‍යාගයෙන් කළ වීරත්වයන් තුළ තමන්ගේ කොටස ඉටුකළ යුතුවෙනවා කියන අදහසින්. වීරත්වය හෝ නැගිසිටිම පරාජයට පත්වෙලා නැහැ. ඒත් දැන් මොකද? වෙලා තියෙන්නේ.

2000 දශකය වෙනකොට ඒ වීරයෝ පණපිටින් මැරිලා. ව්‍යාපාරයක් ජීවිතවලින් විනාශ වෙනවට වඩා දරුණුයි ව්‍යාපාර වල ඉන්න පුද්ගලයෝ පිරිහිලා ව්‍යාපාර පීලිපැන යන එක. මේක පරාජයට පත්වුනා කියන මතවාදය තමයි ජ.වි.පෙ. මෑත කාලයේ ඉතිහාසයේ අපට හමුවන්නේ. ජ.වි.පෙ. විතරක් නොව තවත් සමාජයේ සටන්කාමී ව්‍යාපාර වලත් ඒ ප‍්‍රශ්නේ මතුවෙලා තියනවා. අද බැරියර් එකේ එහා පැත්තේ හිටිය මිනිස්සු හෙට බලද්දි ඉන්නේ අනිත් පැත්තෙ. උදාහරණයක් හැටියට පුජ්‍ය දඹර අමිල හාමුදුරුවෝ ගන්න පුලූවන්. අපි විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ එයා තමා සමාජවාදි ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික. අද ඉන්නේ කොතැනද? මේ වගේ චරිත ගොඩක් තියනවා.

ඒ අය විසින් හදන අසමත්කමේ මනෝභාවය කියන එක බරපතල කාරණයක්. අනෙක් පැත්තෙන් වමේ දේශපාලන මතයක් සමාජගත කරන්න එකේ ක‍්‍රියාකාරීත්වයක් ගොඩ නගන්න උත්සාහ කරපු බලවේග තමයි මෑත කාලයේ විශේෂයෙන්ම මේ ක‍්‍රමය ගැන යම් විධියකින් විශ්වාසයක් හදන දේශපාලනයක නිරත වෙලා ඉන්නේ. යහපාලනය නමින් හෝ මොනවා හෝ කෙරෙහි විශ්වාසයක් හදන මනෝභාවයන්ට ගිහින් ඊට පස්සේ ඒවා කඩා වැටෙන කොට වමම ජනතාවට අවිශ්වාස වෙනවා. ඉතින් ඒක අද තරුණ ප‍්‍රජාවත් වාමාංශික දේශපාලනයෙන් ඈත් වෙන්න බලපාල තියන බරපතල කාරණාවක් වෙලා.

දහම් පාසල් විලාසිතාවක්

අනික් අතින් වාමාංශිකයන් මොනවද කරල තියෙන්නේ කියන ප‍්‍රශ්නය තරුණයන් අතර තියෙනවා. මම කිව්වනේ තරුණයන් ප‍්‍රගතිශීලිත්වය කියන්නේ මොකක්ද? කියන එක තේරුම් අරගෙන නෑ කියල. අපි ඒ ගොල්ලන්ගෙන් ඇහුවොත් ප‍්‍රගතිශිලි කටයුතු වල නිරතවෙන්නේ නැත්තේ ඇයි? කියලා. ඒගොල්ලො අපෙන් අහයි මොනවද සහෝදරය ප‍්‍රගතිශිලි කටයුතු කියන්නේ කියල. මම උදාහරණයක් කියන්නම් දැනට අවුරුදු 3 කට විතර කලින් අපි බෝගල මිණිරන් පතලේ කම්කරුවන් සංවිධානය කිරීමේ කටයුතු වලට සම්බන්ධ වුනා. එතන ගොඩක් හිටියේ තරුණ අය ඒගොල්ලො කිව්ව කතාවක් තමයි. “අපි මේ මොනවත් දන්නෑ.” වෘත්තිය සමිතිවල කලින් නායකයෝ හිටිය. ජ.වි.පෙ. තමයි ඒ අය. “එයාල කිව්වේ මව් සංගමයෙන් කියන ඒවා තමයි අපි කරන්නේ කියලා. අපි නීතිය දන්නෑ. තීරණ ගන්නේ කොහොමද දන්නෑ. සටන් හදන්නේ කොහොමද කියල දන්නෑ. ඒ හින්ද සහෝදරය අපට ඉස්සෙල්ල දැනුම දෙන්න.” යම් මට්ටමකින් හරි ක‍්‍රියාත්මක වුන ව්‍යාපාර වල තත්වය ඕකයි. බුද්ධිමය ආධිපත්‍යයක් දරල තියන අය ඒක පාවිචචි කරල තියන විධිය තමයි ඔය.

තරුණ අසමත්කම වමේ ප්‍රශ්ණයක්

ඉතින් දැන් එතකොට මේ අසමත්කම නිසාම මේ ප‍්‍රශ්නය තරුණයන්ට බාරදෙන්න පුලුවන් කමක් නෑ. මේ අසමත් කම ඒ විධියට සිද්ධ වෙද්දි අනෙක් අතට ක‍්‍රියාත්මක වෙලා තියනව සමාජයේ තව කණ්ඩායම් ගණනාවක්. විශේෂයෙන්ම ජාතිවාදි කොටස්. ඒ අය ජාතිවාදි මතය ප‍්‍රචාරය කිරීම සාකච්ඡා කිරීම විතරක් නොවෙයි ක‍්‍රියාකාරි වෙලා තියනවා. ඒ අය රැඩිකල් ක‍්‍රියාවක් නිර්මාණය කරල තියනවා තරුණයන්ට සම්බන්ධ වෙන්න. ඉතින් වාමාංශික හෝ ප‍්‍රගතිශිලි මතය විතරක් තිබුණට මදි. වාමාංශික ප‍්‍රගතිශීලි ක‍්‍රියාවක් ඕනේ තරුණයන්ට සම්බන්ධ වෙන්න. තරුණයො කෙහොමත් රැඩිකල් වෙන්න කැමතියි. “මුස්ලිම් කාරයට ගහපල්ල, දෙමළට ගහපල්ල” කියනකොට ගියා. පසුගිය කාලේ වුනේ ඒකයි. ත‍්‍රීවිල් එකේ සිංහලේ ස්ටිකරය ඇලෙව්වා එවැනි ක‍්‍රියා එක්ක බරපතල ලෙස බද්ධ වුනා.

අපි ඉස්කොලේ යන කාලේ ගත්තහම දහම් පාසැල් යනව කියන්නත් ලැජ්ජයි. ගෙදරින් බලකරන හින්දයි ගියේ. දැන් බලන්න තරුණ පිරිස් අතර පන්සල් යන එක විලාසිතාවක් .තවත් දෙයක් බලාපොරොත්තු වෙනවා. හදගමගේ අන්තිම චිත‍්‍රපටියෙත් ඒක කතාකරනවා. ඉහළ මැද පංතික පවුලේ දැරිවියන් පන්සලට යන විදිය. ඒ නිසා නලින්ද සිල්වල ගුණදාස අමරසේකරල මතවාදය හදල තියනවා ඒ විතරක් නොවෙයි. ඒ අයත් තව කොටසුත් ක‍්‍රියාවක් හදල තියනවා. ප‍්‍රගතිශිලි නැති වුනාට තරුණය ජාතිවාදීව හරි සමාජ ක‍්‍රියාවකට සම්බන්ධ වෙලා තියනවා.

හාමුදුරුවො කියපු නිසා කඩ කඩන තරුණයෝ

එතකොට කොහොමද? මේක අභිබවන්නේ. අපේ සහෝදරවරු කීපදෙනෙක් අරගල වලදි අත්අඩංගුවට පත් වී හිරේ ගියා. ඔවුන්ට බන්ධනාගාරයේදි හම්බ වුණා පැපිලියානේ හාමුදුරු කෙනෙකුගේ පෙළඹවීමෙන් මුස්ලිම් රෙදි කඩයකට පහර දීල අත්අඩංගුවට ගත්ත තරුණයො පිරිසක්. ඒ තරුණයෝ අපේ සහෝදරවරු සමග සාකච්ඡා කළා. බැලූවහම ඔවුන් එහෙම ඇතුලාන්තයෙන් ජාතිවාදි නැහැ. හාමුදුරුවෝ එන්න කිව්ව ගියා. රැඩිකල් වැඩක්.ගැහුව අහුවුනා. හිරේගියා.

මෑත කාලේ ගොඩක් සාකච්ඡාවට බඳුන්වුන සිදුවීමක් තමයි යාපනය විශ්ව විද්‍යාලේ සිංහල සහ දෙමළ ශිෂ්‍යයන් අතර ඇතිවු ගැටුම. ඒකෙදි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සිංහල දෙමළ ශිෂ්‍යයන් දෙපැත්තටම මැදිහත් කරුවන් ලෙස මැදිහත් වුණා. එහිදි සිංහල ශිෂ්‍යයෝ අන්තරයට කිව්වා “ඔයගොල්ලො එක්ක කතාවක් නෑ” කියලා. ඔවුන් බුද්ධි අංශ එක්ක ගනු දෙනු කරල තිබුණා. අපි කලා උළෙලක් සංවිධානය කළා යාපනේ. ඒකට යාපනේ විශ්ව විද්‍යාල ආචාර්යවරු කොළඹින් ගිය කලාකරුවෝ විශාල ප‍්‍රමාණයක් සහභාගි වුනා. සිංහල දෙමළ ශිෂ්‍ය කොටස් දෙගොල්ලොම යම් ප‍්‍රමාණයක් ආව. පොඩි පිරිසක් වුනත් ඒ අය බලන් හිටිය මොකක්ද? මෙතන වෙන්නේ කියලා. සිංහල ශිෂ්‍යයෝ කීප දෙනෙක් මේ වැඬේට සම්බන්ධ වෙලා අවබෝධයක් ලබාගෙන වැඬේ ඉවර වුනාට පස්සේ අපේ සහෝදරවරු බෝඩිමට එක්ක ගිහින් රෑ කෑම දීල අවසාන ප‍්‍රතිචාරය දැක් වූවා. ඒක මේ ජාතිවාදයට එරෙහි කලා උළෙලක්. පසුගිය දා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ දෙන්නෙක් සහභාගි වුනා යාපනේ. එතනදි ඒ අය ශිෂ්‍ය ව්‍යාපාරයට කතාකරලා තිබුණා “දෙමළ අය මේ වැඬේට සහභාගි වෙන්නෑ අපි වෙනම පෝස්ටරයක් හරි ගහන්න ඕන” කියල. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඒ වේලාවේ කිව්වා “මෙතන එක අරගලයක් තියෙන්නේ එක සටනක් තියෙන්නේ සහෝදරවරු ඒකට සම්බන්ධ වෙන්න” කියල. එහිදි ශිෂ්‍යයෝ එකාබද්ධ අරගලයක් කැ‍දෙව්වා.

ආදරය සහ ලිංගිකත්වය තරුණ ප්‍රශ්ණයක්

අප හිතන්න ඕන ප‍්‍රගතිශිලි ව්‍යාපාරය ගොඩනැගෙන්නේ කොහොමද? අපි දන්නවා පරිසරය විනාශවීගෙන යනව පරිසරය රැකගැනීම වෙනුවෙන් වු ප‍්‍රගතිශිලි ක‍්‍රියාව තරුණයන් අතරට ගෙනයායුතුයි. දැන් කලාව වුනත් වෙළදපල අභිමුඛ කලාවක්නේ. ප‍්‍රගතිශිලි කලාව තරුණයෝ අතරට යා යුතුයි. ආදරය ලිංගිකත්වය පිළිබඳ සාකච්ඡාව ඔවුන් අතරට ගෙනයා යුතුයි.

ප‍්‍රගතිශිලිත්වය මේ යයි ලකුණු කරන්න මැදිහත්කරුවන් අවශ්‍යයි. ඒක වාමාංශික ව්‍යාපරය ඇතුළු ප‍්‍රගතිශිලි යයි කියාගන්නා සියලූ දෙනාගේ වගකීමක්. එක අතකින් තරුණයෝ ප‍්‍රගතිශීලී නෑ කියන මේ කතාව වැඩිහිටි පරම්පරාව ව්‍යාකූලව පසුකළ ඉතිහාසයක ප‍්‍රතිඵලයක්. .ලෙනින් තරුණ සංගම් වල කාර්භාරය නම් ලිපියේ සදහන් කරනවා “රාජ්‍ය බලය අත්පත් කරගැනීම කියන කාර්ය වැඩිහිටි පරම්පරාව කරල තියෙන්නේ. දැන් තියෙන්නේ සමාජවාදය ගොඩනැගීමයි. ඒක තරුණයන්ට කරන්න තියෙන්නේ” කියලා. වැඩිහිටියෝ බැට්න් එක දීල තියෙන්නේ. තරුණයෝ ඒක අරන් දුවන්නේ හෙමින් කියලා ඔවුන්ට බැනල වැඩක් නැහැ. අපි ඔවුන්ට බැට්න් එක දෙන්න ප්‍රමාදවෙලා තියනවා. මේ වැඩිහිටි පරම්පරාවේ ව්‍යාකුලත්වයේ ප‍්‍රතිඵලයක් තමා මේ තරුණ පිරිස් ප‍්‍රගතිශිලි වෙලා නැති එක. ඉහළ මැද පංතික තරුණයෝ ගත්තාම ඒ ගොල්ලො බරපතල ලෙස හුදකලා වෙලා ඉන්නේ. ඔවුන් අපට නාගරිකව හමුවෙනවා අපි මේ කතා කරන්නේ ඒ අය ගැන නොවෙයි.

එහෙම නම් මේ කාර්යයට ප‍්‍රායෝගිකව උත්තර හොයන්නෙ කොහොමද? මා කලිනුත් කීව උදාහරණයක් විදියට බෝගල පතලේ කම්කරුවන්ට ප‍්‍රසන්න විතානගේගේ ‘උසාවිය නිහඬයි’ චිත‍්‍රපටිය පෙන්නලා සාකච්ඡා කළා. චිත‍්‍රපටිය බලල කම්කරුවෝ කිව්ව දේ තමයි “අපි නීතිය දන්නේ නෑ” කියලා නීතිය පොත පතින් හැදෑරුවට දැනුමක් ලැබෙන්නේ නෑ. නීති පොත් ගෙනල්ලා කලින් වැඩමුළු එහෙමත් කරල තියනව. මේ චිත‍්‍රපටිය පෙන්නන්න ප‍්‍රසන්න විතානගේ සහොදරයත් එක්ක ගියා. ඒ කම්කරුවන්ට ඒක නවමු ඇත්දැකීමක් වුණා. ඒ අය පසුගිය දා සම්මේලනයෙදිත් කිව්වා “එවැනි කටයුතු තවදුරටත් සංවිධානය කළයුතුයි” කියලා. උසාවිය නිහඩයි චිත‍්‍රපටිය රීගල් එකේ විතරක් පෙන්නල මදි. ඒක තරුණයෝ අතරට ගෙන යා යුතුයි. නීතිය නොදත් පෝරකයට ගිය සිළිදුලාට එය යා යුතුයි. ඒකට ගොඩක් මහන්සි වෙන්න වෙනවා කැපකිරීම් කරන්න වෙනවා. පහසු නෑ. කතිකා කාමර වල විතරක් කතාකරල වැඩක් නෑ. ‘ඔබනැතිව ඔබ එක්ක’ චිත‍්‍රපටිය ගත්තාම එසේ කළ යුතුයි. හමුදා සොල්දාදුවෝ ඕන තරම් ඉන්නවා කුරුණෑගල අනුරාධපුර දිස්ත‍්‍රික්ක වල. ඒ අයට මේ චිත‍්‍රපටිය පෙන්විය යුතු නැද්ද?

ජ.වි.පෙ. දේශහිතෛෂි මතවාදය ඇතුලේ ප‍්‍රසන්න විතානගේල දාල හිටියේ ප‍්‍රභාකරන්ට උඩගෙඩි දෙන කලාකරුවෝ හැටියට. ඒ මතය තමා ජ.වි.පෙ. හැදුවේ. අදටත් ඒ මතයෙ ඉන්න අය ඉන්නවා. ‘ඔබනැතුව ඔබ එක්ක‘ චිත‍්‍රපටිය ඉවර වුනාම මම ඇස්දෙකට දැක්ක ඇස්වලට කඳුළු පුරෝගත්ත සහෝදර සහෝදරියෝ හිටිය. හමුදා සොල්දාදුවන් එතෙන්ට ගෙන යායුතුයි. ඒ සංවේදිකම මානවවාදය ඔවුන් අතරට ගෙන යායුතු නැද්ද? ඒ මතවාදය ගෙනියන්න ඕනේ. ඒක තමා ප‍්‍රගතිශීලි කාර්යභාරය ජාතිවාදයට එරෙහි මතවාදය ගෙනියන්න ඕන නැද්ද? එහෙම ගෙනිච්චෙ නැත්නම් පැපිලියානේ තරුණයෝ වගේ මුස්ලිම් කඩ කඩන්න යාවි. හාමුදුරුවෝ විසිල් එකක් ගහපු ගමන් ඔවුන් යනව. ඉතිහාසයේ වාමාංශික දේශපාලනය ගමට සම්බන්ධ වුනාම තරුණයන්ට ඒක පැෂන් එකක් වෙලා තිබුණෙ.

වම අසමත්වීම හා ජාතිවාදය ශක්තිමත්වීම

වාමාංශික දේශපාලනය ගමටම ගියා. ඒක අද ජාතිවාදීන් අත් කරගන්න හදනවා. මෙතන අභියෝගයක් තියෙන්නේ. .වම අසමත් වුනාම ජාතිවාදය ශක්තිමත් වෙනවා.ලෝකේ පුරාම තත්වය ඒකයි. යුරෝපයේ වෙනත් වර්ණයක සම සහිත මිනිසුන්ට කම්කරුවන්ට පහර දෙනවා. ආසියාවෙන් අප‍්‍රිකාවෙන් ආ එවැනි අයට පහර දීම්, නව නාසිවාදි පැනනැගීම් තියනවා. ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජයග‍්‍රහණයත් එවැනි එකක්. අපි ඉදිරියෙන් තියෙන්නේ එහෙම එකක්. වාමාංශික කියන මිනිස්සුත් එක්ක එකතුවෙලා යහපාලනය කියල හදල ඒකෙනුත් වෙන්නෙ ඒකමයි. නිදහස් අධ්‍යාපන පනත ගේන කොට බණ්ඩාරනායකල කීව අපේ ගස්වල පොල් කඩන්නත් මිනිස්සු නැති වෙයි කියල. ඒකම තමා දැනුත් වෙන්නෙ. තරුණයන්ට තී‍්‍ර විල් එලවන්න දෙන්න හොද නෑ අපේ නිදහස නැති වෙනවා.දැන් ඉන්න දේශපාලකයොත් තරුණයො දිහා බලන්නේ එහෙම තමා.වාමාංශිකයොත් එක්ක එකතු වෙල මේ යහපාලන ව්‍යාපෘති හැදුවට ඒවා බිද වැටෙන කොට ආපසු අමරසේකරල ගේ මතවාදය සහ ව්‍යාපෘති වලට තමා යන්නේ. ඒවයින් නැවත හදන්නේ ඒකාධිපතියෝ. මිනිස්සු ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට ඡන්දේ දුන්නනෙ.

වම අසමත් වීම ප්‍රශ්නයේම කොටසක්

ඒක නිසා ප‍්‍රගතිශිලි සියලූම දෙනාට වාමාංශික සියලූ දෙනාට තරුණයන් ප‍්‍රගතිශිලිත්වය කරා ගෙනයන්න වගකීමක් තියනවා. අපි තරුණයෝ අතර ශිෂ්‍ය ව්‍යාපාර වල වැඩ කරල තියනවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ සාපේක්ෂව සටන් වල නිරත වෙනවා. ඒ අයගේ මතවාදයේ, දැක්මේ අඩුපාඩු තියෙන්න පුලූවන්. නමුත් සංයුක්තව ගත්තාම ඒ අරගල ප‍්‍රගතිශිලියි. ඔවුන් පිළිතුරු සෙවිය යුතු තව ප‍්‍රශ්න තියෙනවා. ඒවා වර්තමාන ශිෂ්‍ය පරපුර විතරක් වගකියන්න ඕන ප‍්‍රශ්න නොවෙයි. කලින් කතාකළ සහෝදරයත් කිව්ව ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ශිෂ්‍ය නායිකාවෝ විදියට මතුවෙන් නැති එක ගැන. ඒක සමාජයේ ප‍්‍රශ්නයක්. දැන් ධනේෂ්වර ලිබරල් ආර්ථිකයෙන් නීති ගේනවා ප‍්‍රාදේශිය සභා වල තරුණ සහ කාන්තා නියෝජනය වැඩි කරන්න කියා. එතකොට කව්ද? එන්නේ. දේශපාලනය කරපු මිනිහා මැරිච්ච බිරින්දෑවරුයි දේශපාලකයින්ගේ දුවලයි තමයි වැඩි හරියක් එන්නේ. ස්වාධීනව පෞරුෂයක් හදාගෙන ආපු කාන්තාවෝ කොහෙද? ඉන්නේ. ධනේෂ්වර දේශපාලනය ඇතුළෙත් නැහැ. මේක සමාජයට තියෙන ප‍්‍රශ්නයක්. ශිෂ්‍යයා වගේ කෙනෙකුට පෙරටුගාමි කාර්යයක් තියනවා තමන්ගේ ව්‍යාපාර තුළ කාන්තාවන්ගේ සහභාගිත්වය අඩු නෑ කියල පෙන්නන්න.

ඉතින් ඒ අය හුදෙකලා නොකර සමාජයේ සියලූම ප‍්‍රගතිශීලි කොටස් වලට තියන වගකීමක් තමා මේ තරුණ තරුණියෝ නරුමයෝ කියල හදාගත්ත කතාවෙන් එහාට ගිහින් අවස්ථා හදාගන්න. ශිෂ්‍යාවෝ නැහැම කියන්න අමාරුයි. ශිෂ්‍යාවෝ යම් මට්ටමකින් ක‍්‍රියාකාරි වෙනව. දිගුකාලීනව නොවෙයි. ශිෂ්‍යාවො යන අරගල හරිම සටන්කාමියි. ලෙනින් ලිපියක කියනවා “ආර්ථික පීඩනයට අමතරව සමාජ පීඩනයත් දරාගෙන ඉන්න කාන්තාවෝ අරගලයට සම්බන්ධ වුනාම පුරුෂයන්ට හිතා ගන්න බැරි විධියට සටන්කාමීව අරගල කරනව” කියල. රතුපස්වල දී අපි ඒක දැක්ක.

ඒක නිසා අපි හිතනවා කම්කරු ව්‍යාපාර, ශිෂ්‍ය ව්‍යාපාර වලදි ස්වෝත්තමවාදි හැගීමෙන් එම මනෝභාවයෙන් එහාට ගිහින් අප කලින් පහුකළ අගතිය වෙනස් කරගෙන සමාජයේ ප‍්‍රගතිශිලි කොටස් එක්ක සංවාද ගතවීම කළ යුතුයි. ඉතිහාසයේ අපි එහෙම කරලත් තියෙනවා. එතකොට තරුණයට සමාජ වැඩ ඇලජික්ද? නෑ. හැබැයි ප‍්‍රගතිශිලි සමාජ වැඩ වල තරුණයො සාපේක්ෂව නිරත වීම අඩුයි. ඒ අඩුව තරුණයගේ පමණක් ප‍්‍රශ්නයක් නොවෙයි. එහි වගකීම සමාජ ක‍්‍රියාකාරීන් වාමාංශිකයෝ සියලූ දෙනා බාරගතයුතු ප‍්‍රශ්නයක්. දේශපාලනය කරන සියලූදෙනා අපි එයට බැරෑරුම්ව මැදිහත් විය යුතුයි. අපි ඒ අර්ථයෙන් තමයි තරුණ ශිෂ්‍ය ව්‍යාපාර වලට මැදිහත් වෙන්නේ. ඒක අපට තනිව කළ හැකි දෙයක් නොවෙයි. අනෙක් ප‍්‍රගතිශිලි සියලූ දෙනාටත් අත දිගුකරමින් තමයි ඒ වැඬේ කරන්න පුලූවන් වෙන්නේ. එසේ ඉල්ලමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. සියලූ දෙනාට ස්තූතියි.

(පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට, ජනතා ප්‍රජාතන්ත්‍රවාදී කේන්ද්‍රය කැඳවූ සාකච්ජා සභාවකදී දක්වන ලද අදහස් ඇසුරින් ජනතා ප්‍රජානත්ත්‍රවාදී කේන්ද්‍රය විසින් ප්‍රකාශයට පත් කළ ලිපි එකතුවකින් උපුටා Sri Lanka Brief වෙබ් අඩවියේ පළ කළ සටහනකි)




Related News