මිහිතලයේ ශක්ති ප‍්‍රභව ඇසුරෙන් ජිව පරිණාමය පිළිබද නව අදහසක්

පෘතුවියේ ජීවය ඇතිවීම පිළිබද නව අදහස් රැසක් ජීව විද්‍යාඥවරියක හා ලේඛිකාවක වන ඔලිවියා ජූඞ්සන් විසින් දීර්ඝකාලීන අධ්‍යයනයකට පසු ලියූ පර්යේෂනාත්මක නිබන්ධයකින් ඉදිරිපත් කර ඇත. The Energy Expansions of Evolution යන සිරස්තලයෙන් ඇය මෙම නිබන්ධය ලියමින් පවසන්නේ පෘතුවියේ ජීවය සම්බන්ධ ඇති අදහස්වලට විරුද්ධ අදහසක් නොවේ. නමුත් ජීවයේ පරිණාමය සහ පෘතුවි පරිසරයේ පරිනාමය අතර ඇති සම්බන්ධය ඇයගේ අධ්‍යයනයේ ප‍්‍රධාන අවධානය බවට පත් ව තිබේ.

මෙය මෙතෙක් ජීව විද්‍යාඥයන්, භූ විද්‍යාඥයන් හෝ පරිසර විද්‍යාඥයන් විසින් අවධානය යොමු නොකළ අදහසකි. ඔලිවියා පවසන ආකාරයට මීට අවුරුදු බිලියන 3.8කට පෙර ජීවයේ බිහිවීමට මුල් වූ ‘ආදි සූපය’ මැදට වර්තමාන මානවයකු පැමිණියේ නම් ඔහුට ආහාරයට කිසිවක් එහි නොතිබෙනු ඇත. ශාක, සතුන් පමණක් නොව ස්වසනයට ඔක්සිජන්ද පරිසරයට එක් වූයේ පසුකාලීන ක‍්‍රියාදාමයක් තුළය. මිනිසාට සුදුසු ආහාර ආදී ජීවි පරිනාමයක් සිදුවන්නේද පාරිසරික වෙනස්කම් සිදුවන්නේද එම ආදි සූපය බිහිවී දීර්ඝකාලීන ක‍්‍රියාවලියකින් පසුවය. මෙම ක‍්‍රියාදාමයට සම්බන්ධ ශක්ති ප‍්‍රභවයන් මොනවාදැයි වටහාගත් විට එම ශක්ති ප‍්‍රභවයන් ප‍්‍රමුඛ සාධක වූ යුග හඳුනාගන්නට පුලූවන. ඇයට අනුව පෘතුවියේ ඉතිහාසය අධ්‍යයනයේදී ජිවීන්ගේ පැවැත්මට මූලික වූ ශක්ති ප‍්‍රභවයන්ගේ විකාශය අනුව යුග පහකට බෙදිය හැකි බවයි.
මුලින්ම පැවතියේ භූ රසායනික ශක්ති යුගයයි. වසර බිලියන 3.7කට පෙර එවක පැවැති ජීවින් ආහාරය ලෙස ගත්තේ මීතේන් හා හයිඩ‍්‍රජන් වැනි රසායනික අණුය. එවක පෘතුවි පෘෂ්ඨය මත පැවති පරිසරය තුළ මේවා සුලභ විය. දෙවනුව, හිරු එළිය ශක්ති ප‍්‍රභවයක් ලෙස ජීවයට වැදගත් වූයේ එයිනුත් වසර මිලියන ගණනකට පසු හරිතප‍්‍රද වැනි සංස්ලේෂක ඒකක පරිනාම ක‍්‍රියාදාමයේදී ජිවින් තුළ පැවත්මට ආ පසුය. සයනො බැක්ටර් වැනි ජීවින් පරිසරයට ඔක්සිජන් මුදාහැරීම ආරම්භ කළ පසුව පෘතුවි වායුගෝලයේ ඔක්සිජන් හා ඕසෝන පැවතීම ස්ථාවර විය. ඒ සමගම ඔක්සිජන සහිත පෘතුවි තලය මත ජෛව පරිනාමයේ නව තත්වයක් උදා වූ බව පැහැදිලි වේ. මෙම වෙනස්කම් සිදුවන කාලය තුළ මුල් ශක්ති ප‍්‍රභවය වූ භූ රසායනික ශක්තින් ප‍්‍රයෝජනයට ගැනීමද නතර වූයේ නැත. ජෛව පරිනාමයේදී නව ශක්ති ප‍්‍රභේද භාවිතයට ගන්නා දියුනු ජීවි ප‍්‍රභේද පරිනාමය වුවද අනෙකුත් ශක්ති ප‍්‍රභේද මත යැපෙන ජිවින්ද පවතී.

තුන්වැනි යුගයේදී ඔක්සිජන් ශක්ති ප‍්‍රභවයක් වේ. එක් අතකින් ඔක්සිජන් විසින් ඉලෙක්ට්‍රෝන ආකර්ෂනය කිරීම නිසා එයට මුහුණ දී පැවැත්ම ආරක්ෂා කරගන්නට රසායනික ක‍්‍රියාවලි සහිත ජෛව පද්ධති පරිනාමය විය. මෙය ජීවින් සංකීර්ණත්වයෙන් වර්ධනය කල යුගයක් විය. ඉන් පසුව, මස් ශක්ති ප‍්‍රභවය බවට පත්කරගත් ජීවින් පරිණාමය විය. ඇවිද යන සතුන් විශාල වහයෙන් සුලභ වීමෙන් එකිනෙකා මරාගෙන යැපෙන යුගය එසේ ආරම්භ විය. මානව පරිණාමය ආරම්භ වන්නේ එහි අතරමැද ක‍්‍රියාවලියක් ලෙසය. මිනිසා පරිණාම ක‍්‍රියාදාමයේදී ගින්දර සොයා ගත් පසුව ගින්දර යුගය ආරම්භ විය.

මේ ආකාරයට මානවයා විසින් විවිධ ශක්ති ප‍්‍රභව භාවිතයට ගන්නා යුගය දක්වා පෘතුවිය මත ජෛව පරිනාමයට සම්බන්ධ යුග වර්ග කරමින් විස්තර සහිතව සිය අදහස් සටහන් කරමින් ඔලිවියා ජුඞ්සන් ලියූ දීර්ඝ නිබන්ධනය වෙනත් විවිධ මට්ටම්වල ස්වභාව විද්‍යාඥයන්ගේ හා විද්වතුන්ගේ මත හා කල්පිත වඩා තහවුරු කරන මට්ටමෙන් අවධානයට ලක් කර තිබේ.

Leave a Reply