தமிழ்
English
Contact
Saturday 21st October 2017    
නීතිය ඉදිරියේ සමානවීම ගැන දේශණා සහ අරගලයේ යුක්තිය « Lanka Views | Views of the truth

නීතිය ඉදිරියේ සමානවීම ගැන දේශණා සහ අරගලයේ යුක්තිය



දින හතළිස් ගණනක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු වීරසේකර අද (09) ඇප මත මුදා හැරුණේ  රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප තුනක් සහ රුපියල්  දස දහසක මුදල් ඇපයක් මතය.

කොළඹ මහාධිකරණ විනිසුරුවරයා මෙම ඇප නියෝගය ලබාදෙමින් පැවසුවේ ශිෂ්‍ය නායකයෙකු වන බැවින් ළහිරු වීරසේකර අනෙක් ශිෂ්‍යන්ට ද ආදර්ශයක් වන ලෙස කටයුතු කළ යුතු බවකි. සියලු දෙනා නීතියට යටත් බවත් නීතියට ගරු කළ යුතු බවත් නීතියට උඩින් කිසිවෙකුත් නැති බවත් පැවසූ විනිසුරුවරයා ශිෂ්‍ය නායකයකු ලෙස තරුණ පරපුරට ආදර්ශමත් ලෙස හැසිරෙන්නට කටයුතු කළ යුතු බවද පවසා ඇත. එසේම ඉදිරියේදී ඇප කොන්දේසි කඩ කළහොත් නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරන බවද සඳහන් කර තිබුණා. මෙහිදී චෝදනා ඉදිරිපත් කරමින් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ ළහිරු වීරසේකර සම්බන්ධයෙන් විවිධ අධිකරණවල නඩු 10ක් පමණ පැවරී ඇති බවයි. වසර තුනක පාඨමාලාවක් සඳහා ඔහු 2011 වසරේ විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ඇති නමුත් වසර 06ක් ගත වී ඇතත් ඔහු උපාධිය සම්පූර්ණ කර නැති බවද එහිදී ප්‍රකාශ විය. මේ අවස්ථාවේ මහාධිකරණ විනිසුරුවරයා අ.වි.ශි.බ.ම. කැදවුම්කරුට පෙන්වා දී ඇත්තේ තමාගේ ප්‍රමුඛ කාර්යය උපාධිය සම්පූර්ණ කිරීම බවත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසයි.

අප දන්නා ආකාරයට අධිකරණයේ කාර්යය වන්නේ ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් පාර්ශ්වයන්ගේ කරුණු සලකා බලමින් සාධාරණ සැකයෙන් තොරව චෝදනා ඔප්පු වී ඇත්නම් දණ්ඩන නියම කිරීමය. නමුත් දැන් දැන් අධිකරණවලදී දේශණා අසන්නට ලැබේ. අධිකරණවල අතොරක් නැති අවවාද අනුශාසනා කරනු ලබන්නේ අයුක්තියට මුහුන දෙමින් අසාධාරණ චෝදනා නිසා කූඩු කරන ලද පුද්ගලයන්ටය. අධිකරණ පුටුවල වැඩවසනවුන් දන්නා නමුත් නොදන්නා පරදි දෙසන බව ඇත්තකි. නමුත් අධිකරනවලට බඩගාන පීඩිතයන්ට ඇසි, කණ් සහ මොළය ක්‍රියාත්මක කළ හැකිවීම නිසා අදිකරනයේ නීතිකෘත්‍ය සිදුවන ආකාරය නොතේරෙනවා නොවේ. චෝදනාවලට ලක්වූවන් අයුක්ති සහගත ලෙස රිමාන්ඩ් භාරයට පත්කරනු ලබන්නේ නැතිනම් ඇප නියම කිරීම ප්‍රමාදවන්නේ කිසිදු පිළිගත හැකි හේතුවක් නිසා නොවේ. පොලිසිය, බන්ධනාගාර නිලධාරින් හා නීතිපති දෙපාර්තමේන්තුව සම්මුතියක සිට කටයුතු කරන බවක් පෙනී යයි. පොලිසිය ඇපදීම සම්බන්ධයෙන් විරුද්ධවන අවස්ථාවල සැකකරුවන් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන්නට දුෂ්කරතා ඇති වේ. විනිසුරුවරුන්ට එහිදී යුක්තිය සම්බන්ධ අල්ප මාත්‍ර අවබෝධයක් තිබිය යුතුය.

ළහිරු වීරසේකර හෝ මින් පෙර ශිෂ්‍ය අරගලවල යෙදුනු ශිෂය ක්‍රියාකාරිකයන් අධිකරණය ඉදිරියට ගෙන ගියේ කෙසෙල් කැන් කැපූ වරදට හෝ බැදුම්කර වංචාවට අදාළ චෝදනා මත නොවේ. නඩු 10ක් තිබේ යැයි කියන ඔහු හෝ ඊට වඩා නඩු පටලවා ඇති අරගලකාරී ජනතා නායකයන් අධිකරණය ඉදිරියේ අසන්නට ලැබෙන්නේ, ‘තමා දැනගතයුතුයි හැමදෙනාම නීතිය ඉදිරියේ සමාන බව. කාටවත් නීතිට ඉහළින් වැඩ කරන්න බෑ“ වැනි තර්ජන ගර්ජනයන්ය. එහෙත් මහජන අරමුදල් කෝටි ගනනින් ගසා කෑ බවට චෝදනා ලැබුවන් නිදැල්ලේ සිටිති. මෙරට විනිසුරුවරුන්ට එවැනි නිර්දෝෂී පුද්ගලයන් ඉදිරියේ දේශණා පවත්වා මහන්තත්වයෙන් ගෙදර යන්නට ලැබෙන්නේද නැත. මන්ද ඔවුන් කිසිදා අධිකරණයට නො එන බැවිනි. ළහිරු ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරින් සියයක් දෙනා කුදලා බන්ධනාගාරගත කරන්නට පොලිසිය ලැයිස්තුගත කලේ ආණ්ඩුවේ දේශපාලකයන්ගේ නියෝග මතය. ආණ්ඩුවේ අබිලාෂයද එසේ සටන්කාමී ශිෂ්‍ය ක්‍රියාකාරින් දඩයම්කර ශිෂ්‍ය ව්‍යාපාරය දණගස්වන්නටය. එහෙත් අරගලයේ උණුසුම නිසාම එවැනි හපන්කමක් කරන්නට ආණ්ඩුවේ නායකයන් අසමත් විය.

මුදලට අධ්‍යාපනය විකුණන සයිටම් ඇතුලු පෞද්ගලික අධයාපන කඩවලට විරෝධය පළ කළ නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කුලු පුල් හමුදාවලින් පහර දුන්නේ වරක් දෙවරක් නොවේ. එම විරෝධතාවලට අධිකරණයෙන් අසාධාරන ලෙස තහනම් නියෝග දුන්නේ වරක් දෙවරක් නොවේ. උසස් අධයාපන ඇමතිවරයා කිසිදු සාකච්ඡාවක් ලබා දී තිබුණේ නැත. සෞඛ්‍ය ඇමති ශිෂ්‍ය විරෝධතාවයට විවිධ අර්ථකථන දෙමින් අසාධාරණ අවලාද නගමින් සිටියේය. වසර 8ක් තිස්සේ මහපාරේ විරෝධය පළ කරමින් ගුටි කෑමට ලක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සෞඛ්‍ය අමාත්‍යංශයට ගියේ ඇමතිවරයා හමුවන්නටය. මහ පිරිසක් ගියේ එක්කෙනෙකු දෙන්නකු හෝ ඇමතිවරයා විසින් සාකච්ඡාවට කැදවා නොතිබි තතත්වයකදීය. එහෙත් එහිදී ඇමතිවරයා බියපත්ව පලා ගොස්ය. ඇමතිවරයා එහි සිටියේ නම් කිසියම් සාකච්ඡාවක් කළ හැකිව නොතිබුණිද? එහිදී ශිෂ්‍යයන් ප්‍රචණ්ඩ වූවා නම් ඔවුන් මෙවැනි චෝදනාවකට කූඩුවට නග්ගන්නට හැකියාව තිබිණි. ඉගෙනගන්නට ආවා නම් ඉගෙන ගෙන ගෙදර යන ලෙස අධිකරණවල දෙසන්නේ ශිෂ්‍ය නායකයන් පන්ති කාමරයේ සිට දෙසුම් අසා සිටින ‘කුරවැසියන්‘ ලෙස වැරදියට ගනන් බැලූනිසාය. එහෙත් මේ රටේ ඉතිහාසය පුරාම සටන්කාමී නායකයන් විසින් සාමාන්‍ය ජනතාවගේ අයිතින් වෙනුවෙන් සටන් කර සාමාන්‍ය ජනයාගේ පීඩාවට එරෙහි අරගල වෙනුවෙන් සිය අධ්‍යාපනය පමණක් නොව ජීවිත පවා කැප කර තිබේ.

එදා සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විරෝධතාව ගෙන ගිය ආකාරය වීඩියෝ දර්ශනවලින් පැහැදිළිව පෙනේ. එහි ගියවුන් ඒ පිළිබද සාක්ෂ්‍යකරුවන්ය. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් පලවාහැරීමේ උවමනාවෙන් බලදාරින් එහි ඇතුළු කරවන ලද්දේ කුලු පොලු අමොරාගත් අවි රැගත් කැරලි මර්දන භටයන් හා විශේෂ කාර්ය බලකා සාමාජිකයන්ය. ප්‍රචණ්ඩ ක්‍රියාදාමය ආරම්භ කළේ ඔවුන් මිස ඒ වනවිටත් එහි ගොස් විරෝධතාව පලකරමින් සිටි ශිෂ්‍ය ශිෂයාවන් නොවේ. ශිෂ්‍ය පිරිස එහි ගියේ තේ පැන් සාදයකට නොවන බවද ඇත්තකි. ඔවුන් බලහත්කාරයෙන් පිටමං කරන්නට සොල්දාදුවන් තැත් කරන ලද්දේ යුද පිටියක ආක්‍රමණිකයකු පළවා හරින ආකාරයෙනි. එහිදී වීදුරු ජනල්, මල්පෝච්චි බිදීම සිදුව ඇති බවද ඇත්තකි. දැන් ඒ චෝදනාව එල්ල වන්නේ විරෝධතාව පළ කළ ශිෂ්‍ය ශිෂයාවන්ටය. ඇතුළට ගොස් බලහත්කාරය හා ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කළ සොල්දාදුවන්ට හෝ එම මෙහෙයුමට අණදුන් කිසිවකු චෝදනාවට ලක් නොවේ.

එහෙත් මෑතක සිට අධිකරණය හමුවට යන පොලිසිය කියා සිටින ආකාරයට උද්ඝෝෂණ නිසා මහජන සාමය කඩ වේ යැයි අනාගතය වෙත ඇස් යොමු කර විරෝධතාවලට හා මහජන රැස්වීම්වල තහනම් නියෝග නිකුත් කිරීම නිසා අධිකරණය හෑල්ලුවට ලක්ව තිබේ. විරෝධතා සදහා කිසිවකු ඉදිරිපත්වන්නේ යම් කිසි පීඩාවක් දැනෙන බැවිනි. විරෝධතා සංවිධානය වන්නේ නීතියට ඉහළින් සිටින කිසිවකු හරහා නොවේ. නීතිය සහ යුක්තිය පිළිබද විශ්වාසයක් ඇති පුද්ගලයන්ට ඇස් ඉදිරිපිට යම් අයුක්තියක් දක්නට ලැබේ නම් එම තත්වයට එරෙහිව විරෝධය පෑමට සාධාරණ අයිතියක් තිබේ. එම අයිතිය හිමිවන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇති වගන්ති නිසා නොවේ. එය ස්වභාවික යුක්තිය නමැති මිනිස් ශිෂ්ටාචාරයේ එක්තරා අවදියකදී ඇතිකරගත් මූලදර්මයට අනුකූල තත්වයකි. පවත්නා පාලනය ජනතාවට අගතිකාරී නම් එම පාලනය පෙරලා දමන්නට ඇති අයිතිය පිළිබද දේශපාලන මූලධර්ම හදුන්වා දෙන ලද්දේ මීට වසර සිය ගණනකට පෙරාතුවය. නමුත් මේ ශිෂ්‍ය විරෝධතා යනු ආණ්ඩු පෙරලා දැමීමට කැදවන ලද ඒකරාශිවීම් නොවේ.

මේ නිසා ආදර්ශමත්වීම ගැන හෝ ඉගෙන ගන්න ආවා නම් සුවච කීකරු පූස් පැටව් මෙන් පාඨමාලාව හදාරා ගෙදර යන ලෙස අධිකරණයේ දේශනා කරන අය හෝ දේශපාලන වේදිකාවල ශිෂ්‍ය විරෝධතාවන්ට අවලාද නගන දේශපාලකයන්ට ශිෂ්‍යයන් නගන ප්‍රශ්නවලට පිලිතුරු නැති බව ඇත්තකි.

එවැනි දේශනා සියයක් ඇසුවද ඒවා අසා වෙන දෙයක් වෙච්චාවෙ මම මගේ පාඩුවේ ඉගෙන ගෙන ගෙදර යනවා කියමින් ශිෂ්‍ය නායකයන් දෙසන දෙසුමට කීකරු වූවද කිසිදු වෙනසක් නොවනු ඇත. අද පැය 8ක වැඩ දිනයක් සේවක අයිතියක්ව තිබෙන්නේ මහපාරේ කල අරගලවල ප්‍රතිපලයක් ලෙස බව අප මතක තබාගත යුතුය. ඒ වෙනුවෙන් හේමාකට් අරගලයේදී අරගල කළ වරදට අසාධාරණ ලෙස චෝදනාවට ලක්වී එල්ලුම් ගසට යමින් ‘ඔගස්ට් සපයිස්‘ කී දේ අවසන් වශයෙන් මෙහිදී සිහිපත් කළ යුතුව ඇත.

“අද අපගේ ගෙල මිරිකා දමමින් නගන හඩට වඩා හෙට අපේ නිහැඩියාව බලවත් වනු ඇත!“