දරුවන් ලක්ෂ ගණනක් පාසල් නොයන්නේ දුප්පත්කම නිසයි!

රජය විසින් ළමා අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් කර ඇතත් ළමුන් පිළිබද කාරුනිකභාවය බොහෝ දෙනාට ඇතත් ආර්ථික හැකියාවේ ප්‍රශ්න විසදන තුරු ළමා වහල්භාවය හා පාසල් නොයාමේ ගැටලුව විසදිය නොහැකි බව සමීක්ෂණවලින් තහවුරු වී ඇත.

පසුගිය දිනවල ජනමාධ්‍ය හෙළිකළ තොරතුරක් ලෙස පාසල් යායුතු වයසේ දරුවන් 452,661ක් පාසල් නොයන අතර මොවුන්ගෙන් දරුවන් 51,249ක් එනම් 11%ක්ම කිසිදා පාසලකට ගොස් නැත. බවත් රජයේ ආයතන මට්ටමෙන් මැදිහත්වී සිදුකළ සමීක්ෂණයකින් හෙළි වන කරුණු අනුව අවුරුදු 5-17ත් අතර දරුවන් මෙසේ පාසල් නොයාමේ ප්‍රවණතාවයට ගොදුරු වෙමින් තිබේ.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ ‘ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණය – 2016‘ වාර්තාවෙන් මේ බව හෙළිකර ඇත. මුලු දිවයිනම නියෝජනය වන පරිදි 2016 වර්ෂයේ දී කළ එම සමීක්ෂණය සඳහා දරුවන්ගේ ප්‍රජා විද්‍යාත්මක තොරතුරු, පාසල් අධ්‍යාපනය, ආර්ථික ක්‍රියාකාරකම්, සෞඛ්‍ය හා සුරක්ෂිතතාව, දෙමාපියන්ගෙන් ලබාගත් තොරතුරු හා විවිධ රැකියාවන්හි හා ශ්‍රම සැපයීම්වල යෙදී සිටින දරුවන්ගේ තොරතුරු ලබාගත් බව සදහන් වේ. දරුවන් මෙවැනි තත්වයන්ට නැඹුරුවන්නේ පවුල් සංස්ථාව බිඳවැටීම හේතුවෙන් දරුවන් කෙරෙහි අවදානය අඩුවීම, මව විදේශගත වීම, පියා විදේශගත වීම හෝ පවුල හැරයාම, මව හෝ පියා වෙනත් විවාහයන්ට යොමු වීම, දරුවන් නිවාසගත වීම, දරුවන් විවිධ අපරාධ හා අපචාරයන්ට යොමුවීම, දරිද්‍රතාව හේතුවෙන් රැකියා සඳහා යොමුවීම, දෙමාපියන්ගේ නූගත් කම, පාරිසරික සාධක ආදී බොහෝ කරුණු නිසාය. අධ්‍යාපනය ලැබීමට දරුවකුට ඇති අයිතිය, ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ද තහවුරු කළ මූලික අයිතිවාසිකමකි. නීති හා සමාජ අවධානය තිබිය දී පවා දරුවන් විශාල ප්‍රමාණයක් අධ්‍යාපනයෙන් ඈත්වීම හා කිසිදා පාසල් නොගොස් සිටීම පිළිබඳ රජයේ බලධාරින්ගේ අවධානය යොමු විය යුතු බව සමාජ විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

සිදුකර ඇති සමීක්ෂණයෙන් හෙළිවන්නේ මෙරට ජනගහනයෙන් සියයට 4.6ක් හෙවත් 4,571,442 ක් වයස අවුරුදු 5-17ත් අතර වයසේ පසුවන බවයි. එයින් පාසල් යන්නේ 90.1% ක් එනම්, ළමුන් 4,118,741කි. 9.9% ක් එනම් 452,661ක් පාසල් නොයති. ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණ වාර්තාවට අනුව අදාල වයස් කාණ්ඩයෙන් ළමුන් 1.12% ක් කිසි දිනක පාසල් ගොස් නැත. එසේ  කිසි දිනක පාසල් නොගිය ළමුන්ගෙන් වැඩි පිරිසක් ග්‍රාමීයව ජීවත්වන දෙමාපියන්ගේ දරුවන්ය. කිසිදා පාසල් නොගිය ළමුන්ගෙන් 78.82%ක් ජීවත් වන්නේ ග්‍රාමීය පරිසරයේය. කිසිදා පාසල් නොගිය දරුවන්ගෙන් 4.54%ක් වතු ආශ්‍රිතව ජීවත්වන දෙමාපියන්ගේ දරුවන් බව ද සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. නාගරිකව ජීවත්වන දරුවන් අතරින් කිසිදා පාසල් ගොස් නොමැති ප්‍රතිශතය  21.18%කි.

සමීක්ෂණ වාර්තාවට අනුව වතු පේලි නිවාස ආශ්‍රිතව, නාගරික මුඩුක්කු ආශ්‍රිතව හා දීර්ඝ කාලීන යුද්ධයකට මුහුණදුන් පළාත්වල දෙමාපියන් තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ උනන්දුව සාපේක්ෂව අඩු අගයක පවතින බව පෙනෙන්නට තිබේ.

‘ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය‘  ජූනි 12 දිනට යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ ‘ගැටුම් හා ආපදාවන් හී ප්‍රතිඵලයක් ලෙස ළමයින් ශ්‍රමිකයින් වීම වළක්වමු!‘ යන්නයි.