ජාතිවාදී ප්‍රවණතා පරාජය කිරිමට ‘සම අයිතියෙන්‘ දැනුවත් කිරීම්!

නැගී එන ජාතිවාදී ප්‍රවණතා පරාජය කිරීමේත් ව්‍යාජ සතුරන් මැවීමේ දේශපාලන ව්‍යාපෘතිය හඳුනා ගන්නා ලෙසද සමාජය දැනුම්වත් කිරීමේත් අරමුණෙන් රට පුරා අත්පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනක් අද (19) සම අයිතිය ව්‍යාපාරය විසින් ආරම්භ කරණ ලදී.

කොළඹ, කොටුව, දුම්රියපල ඉදිරිපිටින් එහි පළමු පියවර ආරම්භ වූ අතර ඉදිරි දිනවල රටේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි එම වැඩසටහන් දියත් කෙරෙනු ඇත. අද කොටුව දුම්රියපල ඉදිරිපිට අත්පත්‍රිකා බෙදීමේ අවස්තාවේදී සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ සහෝදරයා මෙසේ අදහස් දැක්වීය.

“පසුගිය මාස කිහිපය තුළ මුස්ලිම් ජනතාවගේ ව්‍යාපාරික ස්ථාන සහ ආගමික ස්ථාන රැසකට ප්‍රහාර එල්ල වී තිබුණා. මේ සිදුවීම් නිරීක්ෂණය කරන විට ඒ සියල්ලේ සංවිධානාත්මක බවක් අපට පෙනෙන්නට තිබුණා. ඒ නිසා මේ නිර්මාණය වන තත්වය ලංකාව තවත් ජාතිවාදී යුද්ධයකට, ව්‍යසනයකට ඇද දමන අවදානම් සහගත තත්වයක් බව සම අයිතිය ව්‍යාපාරය විශ්වාස කරනවා. දශක තුනක යුද්ධයකින් පීඩා විඳපු, දශක තුනක යුද්ධයක් අත්දැකපු අපේ රටේ ජනතාව නැවත එවැනි ව්‍යසනයකට ගොදුරු වීමට එකඟ නැහැ. දැන් ජාතිවාදීන් කියනවා තමන්ගේ ජාතිය රැක ගන්න, ආගම රැක ගන්න ජාතිවාදී ප්‍රචණ්ඩත්වයෙන් පුළුවන් කියලා. ලංකාවේ ඉතිහාසය තුළ වගේම ලෝකයේත් කිසිම තැනක ජාතිවාදය ජාතියක්, ආගමක්, සංස්කෘතියක් පෝෂණය කරන්න සමත් වෙලා නෑ. එයින් අත්පත් කර දී තිබෙන්නේ විනාශය පමණයි. ලංකාවේ උදාහරණය ගත්තත් ජාතිවාදීන් කළේ සිංහල- තමිල් – මුස්ලිම් සියලු ජනතාවට විනාශය කැඳවන එක. දැන් ක්‍රියාත්මක වන කොල්ලකාරී ආර්ථික ප්‍රතිපත්තියේ සතුරු බව වහන්න දැන් සිංහල ජනයාට තමන්ගේ සතුරා මුස්ලිම් ජනයා බවත්, මුස්ලිම් ජනයාට තමන්ගේ සතුරා සිංහල සහ තමිල් ජනයා බවත් ආදී වශයෙන් ඒත්තු ගන්වන්න හදනවා. අපි සිංහල-තමිල් -මුස්ලිම් සියලු ජනතාවගෙන් ඉල්ලනවා මේ ව්‍යසනකාරීත්වයට ඉඩ දෙන්න එපා, නැවත රට යුද්ධයකට ඇද දමන්න ඉඩ තියන්න එපා, මේ ව්‍යසනය පරාජය කිරීමට පෙරට එන්න කියලා.“

Leave a Reply