කේපාපුලව් ජනයා හමුදාවෙන් උදුරාගත් ජීවිතය ඉල්ලති!

“අපේ ගෙවල්වල දැන් හමුදාව ඉන්නෙ, අර ගස් අපි අතින් වතුර ඇදලා හැදුවෙ!“

උපන්දා සිට ජීවත් වූ නිවස ඉඩම් ගහකොළ සතා සීපාවා මෙන්ම ජීවිතයට අහර එකතු කළ කලපුවද ඔවුන්ට අහිමි වී ඇත. ඔවුන් මුලතිව් – පරන්තන් මාර්ගයේ සිය ගමට ප‍්‍රවේශවන ස්ථානයේ රැඳෙමින් දින 103ක් පුරා ඔවුන් අරගල කරමින් ඉල්ලා සිටින්නේ එයයි.

දිසාපතිවරිය රජයේ නියෝග දැනුම් දෙමින්….

කේපාපුලව් ගම පවුල් 138ක් පදිංචි වී සිටි මිනිසුන් නිදහසේ ජීවත් වූ ස්ථානයකි. අද එය ආණ්ඩුව අත්පත් කරගෙන ඇත්තේ ඔවුන් මහමගට ඇද දමමිනි. සුවිසල් ගේට්ටුවකින් ආවරණය කර හමුදාව මුරට දමා තිබෙන ගමට ඇතුළුවන දොරකඩ භූමියේ රැඳීසිටියේ ඔවුන් ඔවුන්ගේම දෙවියන්ගෙන් ඉල්ලන්නේ මේ අවනඩුව විසඳා දෙන ලෙසයි. ඇස් කන් පේන සාමාන්‍ය ජනයාට ඔවුන්ගේ දුක නොපෙනෙන්නේ නම් එය කීමට ඇත්තේ දෙවියන්ට පමණි.
තමන්ටම කියා අක්කර 3ක් 4ක් අයිතිව සිටි ඔවුන් අද ඒ සියල්ලෙන් පිටමං කර ඇත. කඳුළ බඩගින්න අවදානම පමණක් ජීවිතයට ඉතිරි වී ඇත. දරුවන්ට පාසල අහිමිය. ක‍්‍රීඩාකරන ක‍්‍රීඩා පිටිය අහිමිය. ජීවිත මහපාරට ඇද වැටී අවසන්ය. 2017 ජූනි 11වැනිදා ඔවුන්ට විශේෂ දවසකි. ඒ යාබද කෝවිලේ මංගල්‍යය හේතුවෙනි. මෙතෙක් කාලයක් ගම මැදින් වසා දමා තිබුණු මාර්ගය මුල්ලි වයික්කාල් දක්වා දින තුනක් විවෘත කර ඇත. ඒ ඈත එපිට ගම්වල ජනතාවට කෝවිලේ මංගල්‍යයට පැමිණීමට පහසු වනු පිණිසය. සැතපුම් 50-60 දුර ඔවුන් දුරු කතර ගෙවා ගෙන පාවහන්ද නොමැතිව තමන්ගේ දෙවියන් වැඳීමට කෝවිල දක්වා ඇවිද ගෙන එන විට ඇති වන්නේ කනගාටුවක් පමණි.

සරසා දේවි

අරගල භූමියේ රැුඳී සිටින්නන්ට මේ නිසා තමන්ගේ ඉඩ කඩම් ජීවත් වූ නිවස හා ගහකොළ සතා සීපාවා බලා ආපසු අරගල බිමට ආ හැකිය. අප එතැනට යන විටම ගමට ගොස් ආ සරසාදේවී මහ හඩින් හ`ඩා වැළපී පැවසුවේ තමන්ගේ ගෙදර දැන් හමුදා සෙබලූ ජීවත්වන බවයි. බොහෝ ගෙවල් හමුදාවෙන් අත්පත් කරගෙනය. ගහකොළවල පල බුක්ති විඳින්නේද හමුදාවය. රංචුවක 50-60 සිටින ගවයන්ගෙන් කිරි දොවාගන්නේද හමුදාවය. ඒවා බලා ආපසු පැමිණ හඩා වැළපීම හැර ඔවුන්ට කළ හැකි දෙයක් නැත. ඔවුන් හඩා වැළපෙනු දකින කෙනෙක්ද නැත. අවට තිබෙන තේක්ක කැලය හැර අන් කිසිවෙක් මේ කිසිවක් දන්නේද නැත. එබැවින් සරසා දේවිද දෙවියන්ගෙන් ඉල්ලන්නේ සාධාරණයයි. ජිවිතයේ අවසන් භාගය ගතකරන ඔවුන්ට වමත් ජිවත්වන්නට සිදුව ඇත්තේ හැඩූ කඳුළෙනි.

මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපති වූ පසු තමන්ගේ ගැටලූවට පිළිතුරු ලැබේයැයි අපේක්ෂාවෙන් සිටියත් එසේ විසඳුම් දෙන බව පැවසූවෙන් ඡුන්දය ලබා දුන්නත් සිහින බිඳ වැටී ඇත. දුකම පමණක් ජීවිතය වී ඇත. කඳුළු පමණක් පිපාසයට ඇත. දරුවන්ගේ අනාගතය පෙනෙන මානයේ නැත. ඒ ඔවුන් දමිළයන් වූ නිසාද? දකුණට මේ ප‍්‍රහ්නය නොදැනෙන්නේ ඒ නිසාද? A9 පාර දාගේ උතුරට එන මිනිසුන්ට ඇත ගම්මානවල ජීවත්වන්නවුන්ගේ අඳෝනාව නෑසෙන්නේද? ගංවතුර උවදුරෙන් ඉඩකඩම් නිවාස හා ජීවිත දකුණේ පීඩිතයාට අහිමි වන විට උතුරේ පීඩිතයාටද සියල්ල අහිමි වී ඇත. කුමන පැත්තකින් පීඩාවට පත් වුවත් ඒ අපේ රටේ මිනිසුන්ය. දමිල ධනපතියාද සිහල ධනපතියාද කිසිදා මෙවන් ගැටලූවක ගොදුර වන්නේ නැත.

කනමදිපුල්ලේ මනෝජ්මනි

කනමදිපුල්ලේ මනෝජ්මනි වයස අවුරුදු 65ක් පමණ වූ ඇය, හඩා වැලපෙන්නේ ජීවිත කාලය පුරා හම්බ කරගත් දේ අහිමිවීම හේතුවෙනි. යුද වාතාවරණය තුළ ගම් බිම් හැර යාමයට සිදුවූ ඔවුන්ට යුද්ධය අවසානයේ බලාපොරොත්තු දක්වා පැමිණියද ඒ බලාපොරොත්තු තවමත් බලාපොරොත්තුම පමණි. ආණ්ඩුව දුන් පර්චස් 10 හිස් ඉඩමේ ඇයට කළ හැක්කේ කුමක්ද? වගාකරන්නට දෙයක් නැ. ජලය විදුලිය හෝ නිවසක් නැත. ඇය හ`ඩා වැළපෙන්නේ තම උපන් ගමේ තමන්ගේ ඉඩමෙ ඇති පොල්ගස්වලින් කඩා ගත් පොල් ටික විකුණාගත හොත් තමන්ට ජීවත් වන්නට හැකි බවයි. හඩි වැළපී ඉදිමුනු දෑස් ඇති මේ වයෝවෘද්ධ මවගේ ජිවිතයේ ඉතිරිය ගෙවන්නට සිදුව ඇත්තේ මහමගය. දින තුනකට විවෘත් වූ පාර දිගේ එවුන් ගමට ගොස් හඩා වැලපෙන්නේ එයද භාග්‍යයක් කොට සලකමිනි.

මයිදිලි

වයස අවුරුදු 40ක් වූ මයිදිලි වයසටත් වඩා වයසට ගොස් ඇත්තේ අනේක විධ දුක් දොම්නස් හේතුවෙනි. තමන්ගේ නිවස සහ ඥාතින්ගේ නිවෙස් පෙන්වමින් ඇය මහහ`ඩින් වැලපෙන්නට පටන් ගත්තේ අපේ දෑස්ද තෙත් කරමිනි. යුද්ධය අවසන්ව දින 20 ගෙවුනු පසු ඇයට නිවසින් පිටවන්නට සිදු විය. පියා මව සහෝදර සහෝදරියන් සියලූ දෙනා යුද්ධයේ ගොදුරු බවට පත් වූහ. ස්වාමියාත් දරු දෙනොත් සමග ඇය පමණක් ඉතිරි විය.

වැඩිමහල් දියනිය වූ අබිනාද අතින් ගෙන නිවසින් පිටවන විට අබිනාට වයස අවුරුදු එක හමාරකි. දැන් ඇයට අවුරුදු 11කි. ඇගේ නිවස කියා මයිදිලිට පෙන්වන්නට ඇත්තේ හමුදාභටයන් රැුඳී සිටින නිවසකි. දියණියගේ ප‍්‍රශ්නය වන්නේ තමන්ගේ ගෙදරට හමුදාව ඉන්නේ ඇයිද යන්නයි. හඩා වැලපෙන අම්මා දෙස ඇය බලා ඉන්නේ ප‍්‍රශ්ණ වැලක් හිතේ සිරකරගෙනය. බාල දියණිය කවිෂ්නාට මේ දේවල් තේරුම්ගත නොහැකිය. එක් පැත්තකින් නන්දිකඩාල් කලපුවත් අනෙක් පසින් මුහුදත් එපිටින් පරන්තන් – මුලතිව් පාරටත් මුහුණ ලා ඇති ඔවුන්ගේ ගම සැබවින්ම සශ‍්‍රිකය. විසල් පෙදෙසක් වසාගත් අඹ, කොහොඹ, කොස් දෙල් පොල්ගස්වලින් පිරී ඇති භූමිය දකිනවිට ඔවුන්ගේ හද කම්පා වන්නේ එබැවිනි. සරුසාර මාලූ අස්වැන්නක් ලැබෙන නොගැඹුරු නන්දිකඩාල් කලපුවට ගොස් ඉස්සන් 10ක් අල්ලා ගත්තද එය එදා දවස ජීවත්වන්නට සෑහෙන බව ඔවුහු පවසති. සුවිසල් අඹ ගස් දෙසට අත දිගු කරන මයිදිලි පවසන්නේ දෝතට වතුර ගෙනැවිත් දමා තමන් ඒ අඹ ගස් ලොකු මහත් කළ බවයි. ඔවුන්ට ඔවුන්ගේ භූමිය අතහැර දමා යන්නට යැයි කීම කොතරම් සාධාරණද?

කෝවිල් උත්සවයට විවෘත කළ මාර්ගයේ නැවත ගමට ආ ඔවුන්ට දැන් ගමේ ඇති නතර වියහැකි එකම තැන කෝවිල ළග රැඳුනේ එබැවිනි. ඔවුන් මේ සියල්ල කියන්නේ දෙවියන්ටය. මිනිසුන්ගේ ප‍්‍රශ්නවට මිනිසුන්ගෙන් පිළීගුරක් නැති කල ඔවුන් ඒවා දෙවියන්ට භාර කරයි. මේ අවනඩුව කීමට ඇත්තේ දෙවියන්ට පමණක් යැයි ඔවුහු කල්පනා කරති.
කෝවිලේ අයියර් වූ ආරුමුගම් වෙලායුදපිල්ලේ කෝවිල් බිමේදී ගිනි ඇවිලූ කපුරු සහිත උඳුන හිම මත හෙළිගන්නට සැරසුනේ එබැවිනි. ඉඩම් ඉල්ලා කරන අරගලයේ ඔහු පුරෝගාමි කාර්යබාරයක් ඉටු කරයි. කෝවිල් භූමියේ තිබුණු ළිඳ දැන් හමුදාව විසින් භාවිත කරන්නේ කසල දැමීමටය. ඒ දකින ඔවුන්ගේ ද ෑත් හිස්මතට යන්නේ අඳෙ ා්නා නැගීමටය. වේලායුදපිල්ලේගේ නිවස ඇත්තේ කෝවිලට යාබදවය. විටෙක ඔහු කෝවිල පිටුපසට ගොස් නිවස දෙස බලා සිටී. එතැන නොනැවතී කෝවිල් මංගල්‍යට ආවා නම් එතැන බලා යන ලෙස කෙරෙන පොලිස් නියෝග ඔවුන්ගේ අවධානයට ලක් වන්නේ නැත. ඒ නිසාම දැන් පොලිසිය හා හමුදාව සීරුවෙන්ය. මෙතැන නැවතිලා ඉන්නෙ ඇයි? ඔවුන් කරුණු විමසන්නේ එබැවිනි. සැබැවින්ම ඔවුන් නැවතුනේ දෙවියන්ට පුද පූජා පැවැත්වීමටය.

පාසල් බිම වසා දමා ඇත….

දරුවන්ගෙ පාසල, ආහාර ද්‍රව්‍ය මිලයට ගත් සමුපකාරය, පොදු වැඩවලට එකතු වූ ප‍්‍රජා ශාලාව, සහ තමන්ගේම නිවහවන්වලින් පිටමං කල ඔවුන්ට නිදහසේ නැවතිය හැකි එකම තැන කෝවිලය. ප‍්‍රජා ශාලාවේ කැරම් ක‍්‍රීඩා කරන හමුදා සොල්දාදුවන් දෙස බලමින් තරුණ පිරිස සුසුම් ලති. පාසල තල් අතුවලින් වටකර අතුරුදන් කරවා ඇත. පොලිසියත් හමුදාවත් කඩිගුලක් සේ ක‍්‍රියාකාරීය. ඔවුන් වරින්වර පැමිණ කරුනු දක්වති. ඊටත් වඩා හමුදා බුද්ධි අංශ විවිධාකාර උපක‍්‍රම පාවිච්චි කරමින් සීරුවෙන් සිටී.

පොලිසිය පවසන ආකාරයට දින තුනක් මාර්ගය විවෘත කරන ලද්දේ ඈත ගම්වල අහිංසක ජනතාවට කෝවිලේ මංගල්‍යයට පැමිණෙන්නට බවයි. මෙලෙස එයට බාධාවන ලෙස පිරිසක් ගම තුළ නතරවීම හේතුවෙන් දුරින් එන ජනතාවට කෝවිලට එන්නට ඇති ඉඩකඩ නොලැබී යා හැකි බව පොලිසිය ගෙන එන තර්කයයි. එබැවින් වහාම එතැනින් පිටව යන ලෙස ඔවුහු පවසති. ගම මැදින් යන ජනයගේ අහිංසකත්වය ගැන කියන පොලිසියට වසර ගණනාවක් මේ මිනිසුන් උන්හිටි තැන් අහිමිව විඳින පීඩාව නොපෙනෙන්නේ මේ සියල්ල ධනේශ්වර නීතියට යටත් නිසාය. ඔවුන්ට ඇත්තේ ඉහළන් එන නියෝග ක‍්‍රියාත්මක කිරීම පමණකි. වසර ගණනාවකට පසු තමන්ගේ ගෙවල් දොවල් දකින මේ මිනිසුන්ට පොලිසිය කියු පමණින් ඒවා බල බලා පිටමංව යා හැකිද? දින 103ක් පුරා අරගල කරමින් ඔවුන් ඉල්ලන්නේ තමනු එදා ගෙවු ජීවිතය නැවත ලබා දෙන ලෙසයි.

තමන් ඉදි කළ නිවාසවලට යාම තහනම්….

උපන් බිම් අතහැර පර්චස් 10 හිස් ඉඩම් කෑල්ලක ඔවුන් කුමක් කරන්නද? එසේ යාමට ඔවුන් කළ වරද කුමක්ද? ඔවුන් දමිලයන්වීම වරදක්ද? එක් පැත්තකින් යුද වාතාවරණය තුළ වසර ගණනාවක පීඩා විඳි ඔවුහු ඒ අවසන් වනවිට සිතා සිටියේ ජීවිත සතුටින් ගත කළ හැකි බවය. එහෙත් ඔවුන්ට සිදු වූයේ කබළෙන් ළිපට වැටීමකි. ඔවුන්ට ඔවුන් සිටි තැන් පවා අහිමි විය. දකුණේ ජනතාවට යුද්ධය අවසන්ය. කිරිබත් කා ඔවුහු එය සැමරූහ. එහෙත් උතුරේ ජනතාවට තවමත් යුද්ධය අවසන් නැත. ත‍්‍රි’මලය වවුනියා, කිලිනොච්චි ජනතාව අතුරුදන් වූ තම ඥාතින් ඉල්ලා මහමගය. මුලතිව් ජනයා තම ඉඩම් ඉල්ලා මහමගය. මෙසේ කොපමණ කාලයක් ඔවුන්ට මහමග ඉන්නට සිදු වේදැයි කිසිවකු දන්නේ නැත. ඒ කිසිවකුට අදාළ නැත.
මහින්දගේ සාටකයෙන් දෑස් වසාගත් ඔවුහ් නැවත මහන්දලා කරළියට ගෙන එන්නට සැරසෙති. විවිධ ජාතිවාදී බලවේග නැවත ජාතිවාදී යුද්ධයකට අර අඳිමින් සිටී. ප‍්‍රහ්න විසඳන බව කිවු යහපාලනය තුළ කිසිවක්ම සිදුව නැත. මේ සියල්ල මැද පීඩිත ජනතාව පාලකයන් විසින් ඇද දමන ගැටලූවලින් පීඩා විඳිමින් සිටිති. සියලලූ රාජ්‍ය යාන්ත‍්‍රන යොදා ඔවුන් සැරසී සිටින්නේ සිහල දමි මුසල්මානු බේදකින් තොරව පීඩිතයන් පෙළිමටය. එයට කදිම උදාහරණය මාන්කුලම් පොල්සි ලොක්කාගේ වචනවලින් මෙසේය.

”දැන් අපි යනවා. අපි ගියාට පස්සේ ඔයගොල්ලා ඉන්නෙ හමුදා කඳවුරක් මැද්දෙ. අපි ගියාට පස්සෙ මොනව හරි වුණොත් අපට කරන්න දෙයක් නෑ. අපි වගකියන්නෙත් නෑ!”
ඔවුන්ට ඕනෑම දෙයක් කළ හැකිය. එහෙත් පීඩිතයා තමන් පිටමං කිරිමට පැමිණි රජයේ නියෝජිතයා වූ දිසාපතිවරියට කෝවිල් බිමේ පොල් ගසින් කැඩු නැවුම් කුරුම්බා ගෙඩියද කපා පිලිගන්වයි. සැබෑ මිනිස්කම ඇ්තේ කොතැනදැයි පිළිගැනීමට එයද ප‍්‍රමාණවත් බව සිතේ.

වට්ටප්පලයි අම්මාන් කෝවිල කර යන වන්දනාකරුවන්….

කේපාපුලව් ජනයාට අහිමි කළ උරුමය….

බුද්ධි අංශ අවධානයෙන්….

උදයේ විවර වූ හමුදා කදවුරු ද්වාරය සවස වැසී ගියේය

Leave a Reply