தமிழ்
English
Contact
Thursday 21st September 2017    
කාන්තාවන් රට පැටවීමේ ආර්ථිකය – තලතා සහ ෆොන්සේකා කියන කතා « Lanka Views | Views of the truth

කාන්තාවන් රට පැටවීමේ ආර්ථිකය – තලතා සහ ෆොන්සේකා කියන කතා



අද වන විට මෙරටට ලැබෙන එකම ආදායම වී ඇත්තේ විදෙස්ගත ශ‍්‍රමිකයන්ගෙන් මෙරටට ලැබෙන මුදල් නිසා මැදපෙරදිග ගෘහ සේවයට මෙරට කාන්තාවන් යැවීම නතර කළ නොහැකි බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල අවධාරණය කර තිබිනි.

ගෘහ සේවයට විදෙස් ගතවන වයස අවුරුදු 21 තෙක් අඩු කිරීමෙන් අඩු වයසකින් සැලකිය යුතු මුදලක් උපයා ජීවිතය යහපත් කර ගැනීමට අවස්ථාවක් හිමිවන බවද ඇය කියා තිබිණි. එහෙත් ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසන්නේ ඇමති මණ්ඩල සාකච්ඡාවේදී එම අදහසට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොතිබුණු බවයි. මේ අතර අද රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් කාන්තාවන් ගෘහ සේවය සදහා විදෙස් රටවලට යැවීම අනිවාර්යයක් බව හිටපු යුද හමුදාපති සහ මෑතකදී පීල්ඩ් මාෂල් ධුරයක් ලද ඇමති සරත් ෆොන්සේකා පවසා ඇත. කාන්තාවන් ගෘහ සේවය සඳහා යැවීමේ වයස් සීමාව පහල දැමීම සම්බන්ධයෙන් වූ කැබිනට් පත‍්‍රිකාව ගැන කැබිනට් මණ්ඩලයේදී පැවති සාකච්ඡාවේදී ඔහු මෙම අදහස පළකර ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා, ඇමති විජේදාස රාජපක්‍ෂ හා තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකු පෙන්වා දී ඇත්තේ කාන්තාවන් පිටරට යැවීම පියවරෙන් පියවර අඩු කළ යුතු බවකි. විදේශ රැකියා වශයෙන් අද පවතින්නේ ගාහ සේවය සදහා කාන්තාවන් පිටරට යැවීම පමණකි. දැනට විදේශ රැකියාවලට යන කාන්තාවන්ගෙන් බහුතරය විවාහකය. එයින්ද සාතිශය බහුතරයක් මවුවරුන්ය. මේ හේතුව නිසා පවුල් ආරවුල් ඇතිවීම, පවුල් සබදතා ලිහී විසිරියාම, බලා වයස්කාර දරුවන් අපයෝජනය, ලිංගික අපරාධ, අධික මත් ලොල්ත්වය, පොරැෂ වර්ධනයේ ගැටලු වැනි සමාජ ප්‍රශ්න රැසක් වර්ධනය වී ඇති බව සමීක්ෂණ වාර්තා පෙන්වා දී ඇත. එසේම සමීක්ෂණ අනුව පෙනී යන්නේ ලංකාවෙන් විදේශගතවන කාන්තාවන් අතුරින් 90%ක් පමණ ගෘහසේවිකාවන් ලෙස රැකියා ඉලක්ක කරගෙන බවයි. එවැනි සේවිකාවන් හිරිහැරයට ලක්වීම ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වාර්ෂිකව පැමිණිලි සංඛ්‍යාව 5000 ඉක්මවා යන බව පෙනී යයි. ලෝකයේ ගෘහස්ත ශ්‍රමිකයන් ලෙස රැකියාවට යන ප්‍රමාණයද ඉහළ ගොස් ඇත. එයින් 80%ක්ම කාන්තාවන් බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

එහෙත් ආණ්ඩුව මෙහිදී සලකා බලන්නේ විදේශ විනිමය උපයාගැනීම පැත්තෙන් පමණකි. ඒ බව විදේශ රැකියා ඇමතිවරිය දක්වන කරුනු පැහැදිලි කිරීමෙන් ම සනාථ වේ. කාන්තාවන් පිටරට යැවීම යනු හුදෙක් ගමන් බලපත්‍රයක් ලබාගෙන වෙනත් රටක රැකියාවක් කර මෙරටට විදේශ විනිමය එවීමක් ලෙස අර්ථ ගන්වා ගැනීම මෙහි දක්නට ලැබේ. එම ක්‍රියාවලියෙන් සමාජමය වශයෙන් ලැබෙන ප්‍රතිඵලය නොසළකා උපයන රියාල්, ඩිනාර්, ඩොලර්, පවුම් හෝ වෙනත් මුදල් කන්දරාවක් ගැන ආණ්ඩුවේ ගණන් බැලීම විසින් පීඩිත ජනයාට හිමිවන පංගුව කුමක්දැයි සලකා බැලිය යුතුය. තලතා අතුකෝරල හෝ සරත් පොන්සේකා දක්වන තර්ක අනුව පෙනී යන්නේද එය ආණ්ඩුවේ නායකයන්ට අදාල ප්‍රශ්නයක් නොවන බවයි. මෙම තත්වය සම්බන්ධව ලංකාවේ විදේශගත රැකියාලාභී ශ්‍රමිකයන්, ඔවුන්ගේ ඤාති හිතවතුන් මෙන්ම පොදුවේ සමාජයම අවධානය යොමු කල යුතුව තිබේ. විදේශ රැකියාවන් තුළ ශ්‍රමය මෙන්ම ලිංගික සූරාකෑමට ලක්වන කාන්තාවන් සම්බන්ධව කාන්තා සංවිධාන විශේෂයෙන් වාමාංශික ව්‍යාපාරය දක්වන අවධානය වැඩි විය යුතු බව පෙන්වා දිය යුතුව ඇත.

2016.06.04-housemaids-age-limit1