අරමුදල් හිගය පියවාගන්න වැඩිහිටි සුබසාධනය අවසන් කරයි!

70 සහ 80 දශකවල ලංකාවේ පාලකයන් සමාජවාදයට එරෙහිව එල්ල කළ එක් අවලාදයක් වූයේ, සමාජවාදය යටතේ වැඩ කළ නොහැකි සියලූ දෙනා මරා දමන බවයි. ඒ අනුව අවුරුදු 60ට වැඩි වැඩ කළ නොහැකි වැඩිහිටියන් සියලූ දෙනා මරා දමන බවට පාලකයන් කී කතා පිළිගත් පිරිසක්ද ලංකාවේ විය. එහෙත් සමාජවාදය යනු වැඩ කළ නොහැකි සහ විශේෂ අවශ්‍යතා සහිත සියලූ දෙනාට රැුකවරණය සලසන සමාජ ක‍්‍රමයකි.

වැඩිහිටියන් මරා දැමීමටත් දැනුවත්ව පියවර ගන්නේ ධනවාදය බව පැහැදිලිය. සමාජ සංවර්ධන සහ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සෙනෙවිරත්න 2016 ජනවාරි 12 වැනිදා නිකුත් කරන ලද 1/2016 චක‍්‍රලේඛය ඊට කදිම උදාහරණයකි. රජයේ නිලධාරීහු 2016 වසරේදී සානුකම්පිත හේතු සැලකිල්ලට ගෙන මෙම චක‍්‍රලේඛය ක‍්‍රියාත්මක නොකළහ. නමුත් මෙම වසරේ එය ක‍්‍රියාත්මක නොකරන්නේ නම් ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කරන බවට ආණ්ඩුව තර්ජනය කර තිබේ. ඒ නිසා වැඩිහිටි දීමනා කප්පාදුව මේ වසරේදී ක‍්‍රියාත්මක වීමට බොහෝ දුරට ඉඩ තිබේ. වැඩිහිටියන් යනු තමන් වෙනුවෙන් හඬ නැගීමටවත් හැකියාවක් නැති පිරිසකි.

මෙම චක‍්‍රලේඛයේ ශීර්ෂය ලෙස සඳහන් වන්නේ, ‘2015 අය වැය යෝජනා ක‍්‍රියාත්මක කිරීම – සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශය, වයස අවුරුදු 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට රුපියල් 2000ක මාසික දීමනාවක් ගෙවීම’ යන්නයි. චක‍්‍රලේඛයේ මාතෘකාව එසේ වුවද සැබැවින්ම මෙමගින් සිදු කර තිබෙන්නේ මෙතෙක් ගෙවන ලද වැඩිහිටි දීමනාව අහෝසි කිරීමයි.

මෙම චක‍්‍රලේඛය මගින් සිදු කර තිබෙන්නේ කුමක්ද යන්න පැහැදිලි වන්නේ එහි සඳහන් දීමනාව ක‍්‍රියාත්මක කිරීමේ ක‍්‍රමවේදය දෙස බැලීමේදීය. දීමනාව ලබා දීමේදී ඒ සඳහා සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමට නිර්ණායක හතරක් භාවිත කරයි. එම නිර්ණායක මෙසේය.

  • 2.1.1 මෙම දීමනාව ලබන දිනට වයස අවුරුදු 70 සම්පූර්ණ වී තිබීම

  • 2.1.2 පුද්ගල මාසික ආදායම හෝ පවුලේ මාසික ආදායම රුපියල් 3000ට අඩුවීම. පවුල යන්නට තම දරුවන් සමග එකම ගෘහයක ජීවත්වීම දැක්වේ.

  • 2.1.3 එකම ගෘහයක් යටතේ ජීවත් වන විවාහක, අවිවාහක, වැන්දඹු අවුරුදු 70 සම්පූර්ණ වී සුදුසුකම් ලබා සිටින පුද්ගලයන් සඳහා 2.1.1 සහ 2.1.2 අනුගමනය කරමින් එකිනෙකා වෙනුවන් වෙන් වෙන් වශයෙන් මෙම දීමනාව ලබා දිය හැකි වීම. මෙහිදී එක් ගෘහයක් සඳහා දීමනාලාභීන් සංඛ්‍යාව දෙකකට සීමා විය යුතුය.

  • 2.1.4. ස්වාමි පුරුෂයා සහ භාර්යාව යන දෙදෙනාම සුදුසුකම් සපුරා මෙම දීමනාව සඳහා ඉල්ලූම් කළද දීමනාව ලබා දිය යුත්තේ දෙදෙනාගෙන් එක් අයකුට පමණි.

ලංකාවේ මේ මොහොතේ පවතින හාල් සහ පොල් මිල පමණක් සැලකීමේදීද එක් පුද්ගලයකුට මාසයක් හාල් සහ පොල් පමණක් කමින් ජීවත් වීමටද රුපියල් 2500කට ආසන්න මුදලක් අවශ්‍ය වේ. එලෙස බලන කල පවුලේ සමස්ත ආදායම රුපියල් 3000කට අඩු පවුල් ජීවත් විය හැක්කේ මහ පොළොව මතු පිට නොව මහපොළොව යට රියන් හතර ඇතුළත බව නිසැකය. අනෙක් අතට රජයම ප‍්‍රකශ කරන අන්දමට සිව් දෙනකුගෙන් යුතු පවුලක සාමාන්‍ය මාසික වියදම රුපියල් 54,000ක් පමණ වේ.

ලංකාවේ දරිද්‍රතා රේඛාව එනම්, එක් පුද්ගලයකුට මාසයක් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට යන වියදම සැලකිල්ලට ගැනීමේදීද මෙම චක‍්‍රලේඛය පසුපස ඇති අරමුණ පැහැදිලි වේ. මෙම චක‍්‍රලේඛය නිකුත් කරන්නේ 2016 වසරේදී වුවත් 2013 වසර වන විට ලංකවේ දරිද්‍රතා රේඛාව 3624කි. 2017 මාර්තු මාසයේ කරන ලද සමීක්ෂණයට අනුව දරිද්‍රතා රේඛාව 4222ක් බවත් අවම අගයක් ගන්නා මොනරාගල දිස්ත‍්‍රික්කයේ එම අගය 3837ක් බවත් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියයි. එනම් එක් පුද්ගලයකුට මාසයක් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට යන අවම වියදම රුපියල් 4222කි. මෙම සංඛ්‍යා දෙස බලමින් සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා රජය කියන්නේ දරුවන්ද ඇතුළුව එක් නිවසක ජිවත් වන සියලූ දෙනාගේම මාසික ආදායම රුපියල් 3000ට වඩා අඩු නම් පමණක් වැඩිහිටි දීමනාව ගෙවන බවයි. එවැනි පවුලක් ජීවතුන් අතර සිටිය නොහැකිය.

යම් හෙයකින්, අහම්බයකින් හෝ එවැනි පවුලක් ජීවත් වුවහොත් ඔවුන්ට ලැබෙන දීමනාවද කප්පාදු කිරීමට අනෙක් නිර්ණායක සකස් කොට ඇත. එනම්, සැමියා සහ භාර්යාව දෙදෙනාම දීමනාවට සුදුසුකම් ලැබුවහොත් ඉන් දීමනාව ලැබෙන්නේ එක් අයකුට පමණි. මහළු වී දරුවන් නැතිව හෝ දරුවන්ගේ සැලකිලි නැතිව අසරණ වී තනි වූ එවැනි දෙමහල්ලන් කොතෙකුත් දැකිය හැකිය. ඔවුන් දෙදෙනාට ලැබෙන මාසික දීමනාවත් අහලින් පහළින් සොයා ගන්නා දේවලූත් එකතු කර මිය යන තුරු ජීවිතය ගැට ගසා ගනිති. මෙම චක‍්‍රලේඛය මගින් ඔවුන්ට කියන්නේ නිරාහාරව මිය යන ලෙස නොවේද? බෙහෙතක් ගැනීමට නොහැකිව ඉතා සුළු අසනීපවලින් පවා මිය යන ලෙස නොවේද?

මේ අන්දමින් ම්ලේච්ඡ ලෙස වැඩිහිටි දීමනාව කප්පාදු කරන අතර එම චක‍්‍රලේඛයේ තවත් හාස්‍යජනක වගන්තියක්ද ඇතුළත් කර තිබේ. එනම්, වැඩිහිටි සුබසාධනයට යැයි කියමින් රුපියල් 2000 දීමනාවෙන් රුපියල් 100ක් කපා ගන්නා බවයි. මේ සියලූම මරු කපොළුවලින් බේරී යාන්තමින් වැඩිහිටි දීමනාව ලැබීමට සුදුසුකම් ලබන එකම එක වැඩිහිටියෙක් හෝ ලංකාවේ ඉතිරි වුවහොත් ඔහුට ලැබීමට නියමිත මුදලින්ද රුපියල් සියයක් කපා ගනී.

රජය වැඩිහිටි සුබසාධනය කෙරෙහි මේ අන්දමට අත තබන්නේ වැඩිහිටි සුබසාධනය සහ සමාජ ආරක්ෂණ ක‍්‍රම ශක්තිමත් කළ යුතුව තිබෙන මොහොතකය. රජයේම සංඛ්‍යාලේඛන ඒ බව අවධාරණය කරයි.

සාමාන්‍යයෙන් වැඩිහිටියන් ලෙස සලකන්නේ අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ය. එම වයස් ඛාණ්ඩයේ අවුරුදු 60ත් 74ත් අතර පිරිස තරුණ වැඩිහිටියන් ලෙස අවුරුදු 74ට වැඩි පිරිස මහළු වැඩිහිටියන් ලෙස නාමකරණය කරයි. තරුණ වැඩිහිටියන්ගේ දායකත්වය ජාතික ආර්ථිකයට එක් කර ගත හැකි බව සාමාන්‍ය පිළිගැනීමයි.

2012 වසරේ කරන ලද සංගණනයට අනුව ලංකාවේ වැඩිහිටියන්ගේ ගණන 25,20,573කි. එනම් සමස්ත ජනගහනයෙන් 12.4%ක් වැඩිහිටියෝ වෙති. ඉන් 55.7%ක් කාන්තාවන්ය. අවුරුදු 70ට වැඩි වැඩිහිටි ජනගහනය 9,69,374ක් හෙවත් සමස්ත වැඩිහිටි ජනගහනයෙන් 38%කි. 2031 වසර වන විට රැුක බලා ගත යුතු වැඩිහිටි ජනගහනය මිලියන පහක් ඉක්මවනු ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මෙම සංඛ්‍යා ලේඛන දෙස බැලීමේදී වැඩිහිටි ජනතාවගේ සුරක්ෂිතතාව පිළිබඳ විශේෂ වැඩසටහන් දියත් කළ යුතු බව පැහැදිලි වනු ඇත.

වැඩිහිටියන් රැක බලා ගැනීම පිළිබඳ සංඛ්‍යා දත්ත කියාපාන්නේද වැඩිහිටි සුබසාධනය ශක්තිමත් කළ යුතු බවයි. 1981 සංගණනයට අනුව එක් වැඩිහිටියකු රැුක බලා ගැනීමට ශ‍්‍රම බලකායේ නව දෙනකු සිටි නමුත් 2012 සංගණනය අවස්ථාව වන විට එම ගණන 05ක් දක්වා අඩු වී ඇත. ශ‍්‍රම බලකාය විසින් රැුක බලා ගත යුතු වැඩිහිටියන් ප‍්‍රමාණය වැඩි වී තිබේ.
මීට දශක කිහිපයකට ඉහත වන තුරු ලංකාවේ සමාජය ඉඩම් පදනම් කර ගෙන පැවැතිනි. ඒ නිසා මහ ගෙදරත් ඊට ආසන්නව මහ ගෙදරට අයත්ව තිබූ ඉඩම් පදනම් කර ගෙන අඩුවෙන් විසිරුණු දරුවන්ගේ නිවාසත් විය. ඒ නිසා වැඩිහිටියන් දරුවන්ගේ අවධානය යටතේ ජීවත් විය. එහෙත් ආර්ථිකයේ වෙනස්වීමත් සමග භූගෝලීය වශයෙන් පවුල්වල විසිරීම වැඩි වී තිබේ. මේ නිසා වැඩිහිටියන් බොහෝ දුරට හුදකලා වී ඇති ආකාරයක් පෙනෙන්නට තිබේ.

භූගෝලීය වශයෙන් පවුල් විසිරීම, කාන්තාවන්ට රැුකියා සඳහා නිවෙස්වලින් බැහැර යාමට සිදුවීම, පවුල්වල ආර්ථික කඩා වැටීම හා ජීවන වියදම ඉහළ යාම, පවුල් කුඩා වීම, ධනවාදය විසින් ජනිත කරන අනෙකා කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීමේ මනෝභාවය ආදී හේතු රැසක් වැඩිහිටියන් අනාරක්ෂිත වීමට බලපා තිබේ. මෙම හේතු සියල්ලම පාහේ සමාජයීය හේතු වන බැවින් වැඩිහිටි සුරක්ෂිතතාව සහතික කළ හැක්කේද සමාජයීය වශයෙන් පිළිතුරු සෙවීමෙන් පමණක් බව අවිවාදිතය. එය ජීවන විලාසයේ පරිවර්තනයක් සමග බැඳී පවතී.
රාජ්‍ය ආයතන විසින්ම සොයා ගන්නා මෙම සියලූ සංඛ්‍යා දත්ත අනුගමනය කරමින් ධනේශ්වර රාජ්‍ය සිදු කරන්නේ සමාජයීය වශයෙන් කල්පනා කොට මැදිහත් වීම නොව ධනපතියාගේ ලාභය වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි සොයා බැලීමයි. මහජන සේවාවන් සම්බන්ධයෙන් පවතින රාජ්‍ය වගකීම අතහැර ඒවා වෙළෙඳ පොළට ගෙනෙන අතරම වැඩිහිටි සුබසාධනය සම්බන්ධයෙන්ද රජය වෙත පැවරී ඇති වගකීම අතහැර වැඩිහිටියන් අනාරක්ෂිත කොට වැඩිහිටියන් රැුක බලා ගැනීම මහා පරිමාණයෙන් ධනපති සමාගම් වෙත නතු කෙරෙන අයුරු අද මීට එරෙහිව අරගල නොකරන්නේ නම් හෙට දවසේ අපට දැක ගැනීමට හැකි වනු ඇත.

Leave a Reply